හිටපු නායකයාට කැපිල්ල ද? කොදෙව් තරගාවලියෙන් ඉවතට!

195

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක Mashrafe Mortazaගේ සේවය ලබා නොගැනීමට එරට තේරීම් කමිටු බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ඉලක්ක කරගනිමින් නම්කොට ඇති ක්‍රීඩකයින් 24කුගෙන් සමන්විත මූලික සංචිතය සඳහා ඔහුගේ නම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් එරට ක්‍රීඩාලෝලීන් විවිධ අදහස් පළකොට තිබෙන අයුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැකගන්නට ලැබුණි.

බොහෝ දෙනා විශ්වාස කරන පරිදි Mortaza හට ඉදිරියේ දී ද කණ්ඩායම වෙත තේරීපත් වීම සඳහා ඇති අවස්ථාවන් සංඛ්‍යාව සීමා සහිත නිසාවෙන් ඔහුගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් නුදුරේ දී ම අසන්නට ලැබෙනු ඇති බවයි.

කෙසේ නමුත් එරට ක්‍රීඩකයින් හට අනිවාර්‍ය කර ඇති ශාරීරික යෝග්‍යතා ඇගයීම් සියල්ලක්ම පාහේ සමත්ව සිටින Mortaza සිය හැකියා දක්ෂතාවන්හී කිසිදු වෙනසක් තවමත් සිදුව නොමැති බව සියල්ලන්ටම සනාථ කර පෙන්වූ වූයේ පසුගිය දා නිමාවට පත්වූ Bangabandhu විස්සයි විස්ස තරගාවලියේ දී අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමිනි. එම තරගාවලියේ දී ඔහු එක් තරගයක් තුල දී කඩුලු 5ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් පෑමට සමත්කම් දැක්විය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එරට දී ක්‍රියාත්මක වූ එක්දින තරගාවලියට සහභාගී වෙමින් අවසන් වරට බංග්ලාදේශ පිලේ නායකත්ව වගකීම හෙඹවූ Mortaza ඉන් අනතුරුව ක්‍රීඩකයෙකු ලෙස සිය දායකත්වය කණ්ඩායම වෙත ලබා දුන්නේ ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවන්ගෙන් කණ්ඩායමට උපරිම සේවාවක් ලබා දෙමිනි. 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සැරසෙන බව රාවයක් පැතිර ගිය ද එය හුදෙක් අසත්‍ය කටකතාවක් පමණක් බව ඔහු පසුව අවධාරණය කර සිටියේය.

තවත් ක්‍රිකට් පුවත්:

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ සඳහා නවක, යොවුන් ක්‍රීඩකයින් හට වැඩි අවස්ථාවක් ලබා දීමට උනන්දුවක් දක්වන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක ආරම්භක පියවරක් වශයෙනි.

“ඔහු බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔහු ගැන අපිට තියෙන ඒ ගෞරවයේ අදටත් කිසිම වෙනසක් නැහැ. නමුත් අපි දැන් යථාර්ථය තේරුම් ගත යුතුයි. අපි කණ්ඩායම් කළමනාකාරිත්වයත් එක්ක සාකච්ඡා කරල තමයි මේ තීරණයට එකඟ වුනේ. Mortaza වෙනුවට කණ්ඩායමට ඇතුලත් වෙන ක්‍රීඩකයාට ලොකු වගකීමක් පැවරෙනවා වගේම ඔහුට මේක ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා.” යනුවෙන් බංග්ලාදේශ තේරීම් කමිටු සභාපති Minhajul Abedin මහතා සඳහන් කර සිටියේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් වෙත සහභාගී වෙමිනි.

“මම ඔහුත් එක්ක මේ ගැන පෞද්ගලිකව කථා කළා. අපේ තීරණය ගැන ඔහුට කිසිම වැරදි වැටහීමක් නැහැ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශීය තරගාවලි සඳහා ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්න බවත් ඔහු සඳහන් කළා. අපි දැනටමත් 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන වැඩසටහන් දියත් කරන්න පටන් අරගෙන තියෙන නිසා මේ තීරණයේ වරදක් මම දකින්නේ නැහැ.”

තරග පාවාදීම සඳහා තමන්ට ඇරයුම් ලැබුණු බව ප්‍රකාශ නොකිරීම නිසාවෙන් ඊට වරදකරු බවට පත්වූ සුපිරි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan ICCය විසින් පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ගෙවා දැමීමෙන් අනතුරුව පළමු වරට එක්දින කණ්ඩායම වෙත එක්ව සිටින්නේ යලිත් වතාවක් සිය සුපුරුදු හැකියා දක්ෂතාවන් අතරට පැමිණීමේ අපේක්ෂාව පෙරදැරි කරගනිමිනි.

මීට අමතරව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය ද ඊයේ (4) දිනයේ දී ප්‍රකාශයට පත්කොට තිබුණි.

එක්දින තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතය:

Tamim Iqbal Khan, Taskin Ahmed, Shakib Al Hasan, Mohammad Al Amin Hossain, Najmul Hossain Shanto, Md. Shoriful Islam, Mushfiqur Rahim, Hasan Mahmud, Md Mithun, Saif Uddin, Liton Kumer Das, Mustafizur Rahman, Md Mahmud Ullah, Mehidy Hassan Miraz, Afif Hossain Dhrubo, Taijul Islam, Musaddek Hossain Saikat, Nasum Ahmed, Soumya Sarkar, Mohammad Parvez Hossain Emon, Yasir Ali Chowdhury, Mahadi Hasan, Naim Sheikh, Rubel Hossain

ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතය:

Momimul Haque Showrab, Taskin Ahmed, Tamim Iqbal Khan, Syed Khaled Ahmed, Shakib Al Hasan, Hasan Mahmud, Najmul Hossain Shanto, Mustafizur Rahman, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Md Mithun, Taijul Islam, Liton Kumer Das, Quazi Nurul Hasan Sohan, Yasir Ali Chowdhury, Shadman Islam, Mohammed Saif Hasan, Nayeem Hasan, Abu Jayed Chowdhury Rahi, Ebadot Hossain Chowdhury

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<