26 වසරකට පසුව ඉන්දු – පාකිස්තාන තරගයක් ජය පරාජයෙන් තොරයි

1182

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති මූලික වටයේ තරගය අද (2) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

මේ තරගය එක් ඉනිමකට පමණක් සීමා වුනු අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා. ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පාකිස්තානය පත්වුනා.

ඒ අනුව ඉන්දු – පාකිස්තාන එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වසර 26කට පසුව තරගයක ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනු පළමු අවස්ථාව මෙයයි. එසේම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුල ඉන්දු – පාකිස්තාන තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුනේ 1987 වසරට පසුවයි. 

>>Photos – India vs Pakistan | Asia Cup 2023<<

තරමක් වැහිබර කාලගුණ තත්වයක් මත වුවත් කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසන් වීමට පෙර පන්දුවාර 48කුත් පන්දු 5ක් තුල ලකුණු 266කට සීමා කරන්නට Shaheen Shah ඇතුළු පාකිස්තානු වේගපන්දු යවන්නන් සමත් වුනා. 

ආසියානු කුසලාන (එක්දින) තරග ඉතිහාසය තුල වේගපන්දු යවන්නන් විසින් ඉනිමක කඩුලු 10ම දවා ගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට ද එකතු වුනා.

ප්‍රබල වේගපන්දු යවන්නන් තිදෙනෙක් සමඟ පිටියට අවතීර්ණ වුනු පාකිස්තානයට එරෙහිව පිටියට පිවිසි ඉන්දීය මුල්පෙළ කඩුලු 4 ලකුණු 66ක් තුල දවා ගන්නට Naseem Shah ඇතුළු වේගපන්දු යවන්නන් සමත් වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – Rohit Sharma (capt), Shubman Gill, Ishan Kishan (wk), Virat Kohli, Shreyas Iyer, Hardik Pandya, Ravindra Jadeja, Shardul Thakur, Kuldeep Yadav, Mohammed Siraj, Jasprit Bumrah

පාකිස්තානය – Fakhar Zaman, Imam-ul-Haq, Babar Azam (capt), Mohammad Rizwan (wk), Agha Salman, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Shaheen Shah Afridi, Naseem Shah, Haris Rauf

පළමු Powerplay අවස්ථාව අවසන් වන විට පාකිස්තානය ඉන්දීය ලකුණු සටහන 48/3ක් ලෙස සටහන් කළේ, Sharma, Gill, Kohli යන පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩාගාරයට හරවා යවමින්. Shaheen Shah Afridi එහි දී කඩුලු 2ක් තමන් සතු කරගත්තා.

ඉන්දියාව ඉතාමත් අසීරු අඩියක සිටි අවස්ථාවේ දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141ක් තුල ලකුණු 138ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දීය ලකුණු සටහන ගොඩනැංවීම වෙනුවෙන් අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 7 වැනි අර්ධ ශතකය ලබාගත් Kishan නොකඩවා ලබා ගත් සිය සිව්වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 81ක් තුල ලකුණු 82ක් ලබා ගත්තේ 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින්. Kishan පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ මංගල එක්දින තරගයේ දී ම මේ අර්ධ ශතකය ලබා ගැනීම කැපී පෙනුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Hardik Pandya සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 11 වැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු 90ක් තුල ලකුණු 87ක් ලබා ගත්තේ, 4 පහර 7ක් සහ 6 පහරක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.

පළමු Powerplay (පන්දුවාර 10ට පසුව) අවස්ථාවෙන් අනතුරුව පන්දුවාර 40 දක්වා ඉන්දීය ඉනිම ගොඩනැංවීමේ වගකීම ඔවුන් දෙදෙනා (Hardik සහ Kishan) සාර්ථකව ඉටු කළා. එම පන්දුවාර 30 තුල ඉන්දියාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේ හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් ද රඳවා ගෙනයි.

පාකිස්තානු දුර්වල පන්දු රැකීම ද ඉන්දීය පිතිකරුවන්ට ලකුණු ලබා ගන්නට යම් සහනයක් ගෙන දුන් නමුත් පාකිස්තානු වේගපන්දු යවන්නන් ඉන්දීය කඩුලු 10ම දවා ගනිමින් ඔවුන්ගේ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළා. අවසන් පන්දුවාර 10 තුල ඉන්දියාවට කඩුලු 5ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 50ක් පමණයි. 

පන්දු යැවීමේ දී Shaheen Shah ඉන්දීය කඩුලු 4ක් ලකුණු 35ක් තුල දවා ගත්තේ නිලකුණු පන්දුවාර 2ක් ද ක්‍රියාත්මක කරමින්. ඊට අමතරව Naseem Shah සහ Haris Rauf කඩුලු 3 බැගින් දවා ගත්තා. එසේම පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් වයිඩ් පන්දු 15ක් ද ඇතුළු සමස්ත ලකුණු 20ක් අතිරේක ලකුණු ලෙස උදුරා ගන්නට ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඒ අනුව රාත්‍රී 9.50 වන විටත් වර්ෂාව ඇදහැලීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළා.

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<