Mehidy – Shanto බංග්ලාදේශය සුපිරි 4ට රැගෙන යයි

ආසියානු කුසාලාන ක්‍රිකට් තරගාවලිය 2023

1826

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (3) පාකිස්තානයේ ලාහොර් හිදී ක්‍රියාත්මක වුනා.

Mehidy Hasan සහ Najmul Shanto ලබා ගත් ශතක ඉනිම් නිසා බංග්ලාදේශයට ලකුණු 89ක පහසු ජයක් ලබා ගන්නට ඊයේ හැකි වුනා.

එම තරගය බංග්ලාදේශ කණ්ඩායමට අතිශය තීරණාත්මක වුනේ එම තරගය ජය ගන්නට ඔවුන්ට නොහැකි වුවහොත් තරගාවලියෙන් ඉවතට යන්නට ඔවුන්ට සිදු වන නිසයි.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරණ යුගලය ලෙස Mehidy Hasan සහ Mohamed Naim සාර්ථක සබදතාවයක් ගොඩනංවමින් ලකුණු 60ක් Powerplay අවස්ථාව තුල රැස් කළා.

Naimගේ දැවී යාමට පසුව Towhid Hridoy ලකුණු ලබා ගැනීමට පෙර දවා ගන්නට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් වුනා. අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 194*ක සබදතාවයක් ගොඩනැවීමට Mehidy Hasan සහ Najmul Shanto සමත් වුනේ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු දෙවැනි හොඳම සබදතාවය වාර්තා කරමින්.

නමුත් Mehidyට ඇති වුනු ආබාධ තත්වයක් නිසා ඔහු පිටියෙන් ඉවත්ව ගියේ නොදැවී ලකුණු 112*ක් ලබා සිටින විටයි. එය ඔහුගේ එක්දින දිවියේ හොඳම ඉනිමයි. සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කර ගත් ඔහුගේ ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

බංග්ලාදේශ මැදපෙළ සවිමත් කළ අනෙක් පිතිකරු සහ මේ තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා වන Shanto පන්දු 105ක දී ලකුණු 104ක් ලබා ගත්තේ 4 පහර 9ක් සහ දැවැන්ත 6 පහර 2කින් සිය ඉනිම වර්ණවත් කරගෙනයි.

ඇෆ්ගනිස්ථාන දුර්වල පන්දු රැකීම ද සවියක් කරගෙන බංග්ලාදේශය සිය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 5ක් දැවී ලකුණු 334ක දැවැන්ත ලකුණක් ලබා ගත්තා.

ඇෆ්ගන් ප්‍රබල කඩුලු රකින පිතිකරු Rahamanulla Gurbazගේ කඩුල්ල ඉක්මනින්ම දවාගෙන තරගයට අවතීර්ණ වුනු බංග්ලාදේශයට එරෙහිව දෙවැනි, ‍ෙතවැනි සහ සිව්වැනි කඩුලු

ත්‍රිත්වය වෙනුවෙන් අර්ධ ශතක සබදතාවයන් ගොඩනැංවීමට Ibrahim Zadran, Rahamat Shah, Hasmatullah Shahidi සහ Najibulla Zadran යන ඇෆ්ගන් මුල්පෙළ පිතිකරුවන් සමත් වුනා.

Ibrahim සහ Shahidi හැරෙන්නට අනෙක් ඇෆ්ගනිස්තාන පිතිකරුවන් හට එතරම්ම මට්ටමකට සාර්ථක වෙමින් අර්ධ ශතක ලබා ගැනීමට නොහැකි වුනු අතර Taskin Ahamed දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගත්තා. අවසානයේ දී ඇෆ්ගනිස්තානය සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 245ක් පමණයි.

ඒ අනුව බංග්ලාදේශය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ සිය ස්ථානය වෙන්කරගෙන අවසන්. ඇෆ්ගනිස්තානයට ඉදිරි වටයට යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි තරගය ලකුණු 70කට වැඩි පරතරයක් සහිතව ජයග්‍රහණය කළ යුතු අතර එසේ නොමැති නම් ශ්‍රී ලංකාව ලබා දෙන ඉලක්කය පන්දුවාර 36කට අඩුවෙන් හඹාගොස් ජය ගත යුතු වෙනවා.

ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම හෝ දරුණු පරාජයක් නොමැතිව තරගය පරාජය වීම ප්‍රමාණවත් වෙනවා.

  • බංග්ලාදේශය – 334/5 (50): Mehidy Hasan Miraz 112, Najmul Hossain Shanto 104, Shakib Al Hasan 32*, Gulbadin Naib: 1/58, Mujeeb Ur Rahman 1/62
  • ඇෆ්ගනිස්තානය – 245 (44.3): Ibrahim Zadran 75, Hashmatullah Shahidi 51, Rahmat Shah 33, Taskin Ahmed 3/44, Shoriful Islam 3/35

2023 ආසියානු කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<