ඉතිහාසගත ජයක් ලැබුවත් හශාන් අසතුටින්

Bangladesh Womens vs India Womens

13129
Thilakarathne

ඉන්දියා කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඊයේ (16) සමත් වුවත්, තමන් කණ්ඩායමේ පිතිකරණ අංශය පිළිබඳ සෑහීමකට පත් නොවන බව බංග්ලාදේශ පුහුණුකරු හශාන් තිලකරත්න මහතා පවසනවා. 

බංග්ලාදේශ සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර මේ දිනවල බංග්ලාදේශයේ දී පැවැත්වෙන ක්‍රිකට් තරග මාලාවේ විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. නමුත් ඊයේ ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු පළමු එක්දින තරගය ජයග්‍රහණය කරමින් දෙරට අතර එක්දින තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරියට පැමිණීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් වුනා. 

ඊයේ බංග්ලාදේශයේ මීර්පූර් හිදි පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 152ක් පමණයි. නමුත් ඊට පිළිතුරු සැපයීමට පිටියට පිවිසුණු ඉන්දීය ඉනිම ලකුණු 113කට නිමා වුනේ ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට එක්දින තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟයි. 

එවැනි ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුව ද තම කණ්ඩායමේ පිතිකාරිණියන්ගේ දක්ෂතා පිළිබඳ ව නම් තමා සෑහීමකට පත් නොවන බව ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා නායක හශාන් තිලකරත්න විසින් සඳහන් කරනවා. 

හොඳයි, අපි අඩු ම තරමේ ලකුණු 200 ඉක්මවා ගිය ලකුණු ප්‍රමාණයක් බලාපොරොත්තු වුනා, මොකද  කඩුල්ලට යක්ෂයින් අරක් ගෙන සිටියේ නැහැ.  

කඩුල්ල හොඳින් ක්‍රියාත්මක වුනා. අවාසනාවකට පිතිකාරිණියන් අසාර්ථක වුන නිසා ලකුණු 50-60ක් පමණ මදි වුනා. මම හිතන්නේ දෙවැනි තරගයට පෙර අපි ශක්තිමත් කර ගත යුතු අංශ කිහිපයක් තියෙනවා. අපි හෙට (අද) ඒ ගැන සාකච්ඡා කරලා දෙවැනි සහ තෙවැනි තරගවලට ශක්තිමත් ව එනවා.” 

තම කණ්ඩායම දැන් සිය පිතිකරණය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරමින් පුහුණුවීම් වල නිරත වන බවයි හශාන් විසින් සඳහන් කරන්නේ. 

එමෙන්ම මෙම තරගයේ දී ඉන්දියාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 29කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ Marufa Akhterගේ පන්දු යැවීම විශේෂයෙන් අගය කිරීමට ද හශාන් විසින් අමතක කළේ නැහැ. 

මේ අතර බංග්ලාදේශ නායිකා Nigar Sultana විසින් පවසන්නේ මෙම ඉතිහාසගත ජයග්‍රහණය දැන් ම සමරන්නට තමන් හදිසි නොවන බවයි. 

“අපේ ක්‍රීඩිකාවන් උද්දාමයට පත් වෙලා හිටියේ, නමුත් මම ඔවුන්ට කිව්වා අපි තවමත් අපේ රාජකාරිය සිදු කර අවසන් නැහැ කියලා. 

අපිට තවත් ළඟා කර ගත යුතු දේවල් කිහිපයක් ඇති නිසා මේ දක්වා ඔවුන් ව මෙම ජයග්‍රහණය සැමරීමෙන් වැළැක්වුවා. තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වුනොත් අපිට සමරන්න පුළුවන් මම හිතන්නේ.” 

තරගාවලියේ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන බදාදා (19) මීර්පූර් හිදි ම පැවැත්වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<