තමන්ට RCB සමඟ තිබූ කෝපය ගැන Chahal හෙළි කරයි

7139

2021 IPL තරගාවලියෙන් පසුව Royal Challengers Bangalore කණ්ඩායමේ තවදුරටත් රඳවා නොගත් ඉන්දීය පා දඟපන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahal විසින් RCB වෙතින් තමන්ට සිදු කළ නොසලකා හැරීම පිළිබඳ කලකිරීමට පත් වූ බව සඳහන් කරනවා. 

2021 IPL තරගාවලියෙන් පසු 2022 තරගාවලියට පෙර පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියට පෙර Ravichandran Ashwin සමඟ සාකච්ඡාවකට සහභාගී වූ Chahal විසින් සඳහන් කළේ,අනිවාර්යයෙන්, මට නැවත RCB වෙත යන්න අවශ්‍යයි,” යනුවෙනුයි. 

නමුත් එවර වෙන්දේසියේ දී Rajasthan Royals විසින් Chahalව මිල දී ගත් අතර, Mumbai Indians, Delhi Capitals, Sunrisers Hyderabad යන කණ්ඩායම්වලින් ද ඔහු වෙනුවෙන් කේවල් කළා. නමුත් RCB විසින් ඔහු සිය කණ්ඩායම වෙත නැවත සම්බන්ධ කර ගැනීමට කිසිදු උත්සාහයක් දැරුවේ නැහැ. 

“මම වෙන්දේසියට මගේ නම දැම්මාම ඔවුන් (RCB) මට පොරොන්දු වුනා මම වෙනුවෙන් හැම දෙයක් ම කරනවා කියලා. මම කිව්වා හරි කියලා, නමුත් මාව තෝරා ගත්තේ නැහැ. ඒ නිසා මම දවස් දෙක තුනක් ම ලොකු තරහකින් හිටියේ.  

මම RR සමඟ RCBට එරෙහිව මගේ පළමු තරගය ක්‍රීඩා කරපු වෙලාවේ මම RCB කණ්ඩායමේ කිසිම කෙනෙක් සමඟ කතා කලේ නැහැ. පුහුණුකරුවන් සමඟවත් කතා කළේ නැහැ.” 

RCB විසින් තමන්ට සිදු කළ නොසලකා හැරීම පිළිබඳ පසුගිය දිනයක YouTube නාලිකාවක් සමඟ සම්බන්ධ වූ Chahal විසින් සිය හෙළිදරව් කිරීම ආරම්භ කළේ ඒ අයුරෙනුයි. 

Chahal විසින් සිය IPL ක්‍රීඩා දිවිය 2011 වසරේ දී Mumbai Indians සමඟ ආරම්භ කළ අතර, 2014 දී RCB විසින් ඔහුව මිල දී ගත්තා. එතැන් සිට RCB සමඟ තරග වාර 8ක් ක්‍රීඩා කළ Chahal විසින් තරග 113ක දී කඩුලු 139ක් දවා ගැනීමට සමත් වුනේ RCB ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වෙමිනුයි. 

“ඇත්තටම මට ඒක ගොඩක් තදින් දැනුණා. 2014 දී තමයි මගේ ප්‍රධාන ගමන පටන් ගත්තේ. මම වසර 8ක් තිස්සේ ඔවුන් සමඟ ක්‍රීඩා කළ නිසා මටත් හරි අමුත්තක් දැනුණා.  

ඒ වගේ RCB වෙනුවෙන් මම දක්වපු දක්ෂතා නිසා මට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණු බවත් මම කියන්නම ඕන. මොකද පළමු තරගයේ ඉඳලා ඔවුන් මට දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලබා දුන්නා. Virat මාව විශ්වාස කළා.” 

එමෙන්ම 2022 තරගාවලිය වෙනුවෙන් පැවැත්වුණු වෙන්දේසියට පෙර ඔහු විසින් Ashwin සමඟින් පවසා සිටියේ තමන් ඔවුන්ගෙන් (RCBයෙන්) අතිශය විශාල මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තු නොවන බවයි. 

“මට කෝටි 15 (ඉන්දීය රුපියල්) හෝ එවැනි මුදලක් අවශ්‍යයි කියලා මම කියන්නේ නැහැ. කෝටි අටක් මට ඇති.” 

එ දවස ඔහු විසින් Ashwin වෙත එසේ පැවසූ අතරම අද ඔහු පවසන්නේ ද තමන් විශාල මුදල් බලාපොරොත්තු තබා නොසිටි බවයි. 

“‘Yuzi ගොඩක් සල්ලි ඉල්ලන්න ඇති වගේ දේවල් මට ඇහෙනවා. ඒ වගේ දේවල් ගොඩක් එළියට එනවා. ඒ නිසාම මම සම්මුඛ සාකච්ඡාවක දී පැහැදිලිව ම කිව්වේ මම නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඉල්ලුවේ නැහැ කියලා. මම දන්නවා මට ලැබිය යුතු මුදල. 

මේ සිදුවීම ගැන මට දැනුණු නරක ම දේ තමයි මට කිසිම දුරකතන ඇමතුමක් හෝ නොලැබීම. අඩු ම තරමේ කිසිම කෙනෙක් මට කතා කලේ වත් නැහැ. මම හිතන්නේ මම ඔවුන් වෙනුවෙන් තරග 114ක් පමණ ක්‍රීඩා කළා. එක පාරට ම මොකද වුනේ කියලා මට හිතා ගන්න බැහැ.” 

RCBයෙන් ලද නොසලකා හැරීමෙන් පසුව Rajasthan Royals සමඟ එක් වූ Chahal විසින් තරග වාර දෙකක් තුල මේ වන විට කඩුලු 48ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම Rajasthan විසින් තමන් ව මිල දී ගැනීම සිය ක්‍රීඩා ජීවිතය තවදුරටත් දියුණු වීමට හේතුවක් වූ බවත් Chahal විසින් අවධාරණය කරනවා. 

“වෙන්දේසියක දී ඕන දෙයක් වෙන පුළුවන්. පස්සේ මට තේරුණා ඒක කමක් නැහැ, මොන දේ වුනත් වෙන්නේ හොඳට නේ කියලා. Rajasthanයට පැමිණීමෙන් පසුව වුන එක හොඳ දෙයක් තමයි මම Death Bowler කෙනෙක් බවට පත් වීම. RCB කණ්ඩායමේ ඉඳිද්දී මගේ පන්දුවාර ප්‍රමාණය ඉනිමේ 16, 17 පන්දුවාර වෙද්දී නිමා වෙනවා. 

මෙහි දී මගේ ක්‍රිකට් 5% –10%කින් වගේ වර්ධනය වුනා. ඒ බැඳීම RCB වෙනුවෙනුත් අනිවාර්යයෙන් ම තියෙනවා, නමුත් රාජස්තානයට පැමිණීම මගේ ක්‍රිකට් වලට විශාල උදව්වක් වුනා.” 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<