මියැදෙන ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් දිමුත් හඬ නගයි

මියැදෙන ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් දිමුත් හඬ නගයි

5236
Dimuth Karunarathne

ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත ලෙස සැලකිය හැකි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දින ම අභාවයට යමින් පවතින බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විසින් පවසා තිබෙනවා. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගය මෙම වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස සටහන් වනු ඇත. 

එමෙන්ම මෙම තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව විසින් මෙම වසරේ ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වනු ඇති අතර ඉන්පසුව ඔවුන්ට මෙම වසර නිමා වන තෙක් එකඳු ටෙස්ට් ක්‍රිකට් තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නියමිත ව නැහැ. 

නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වසර තුළ දැනටමත් ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කර ඇති අතර, එංගලන්තය සහ ඉන්දියාව පිළිවෙළින් ටෙස්ට් තරග 6ක් බැගින් ක්‍රීඩා කර තිබෙනවා. 

එමෙන්ම වසර නිමා වන විට ඕස්ට්‍රේලියාව තවත් ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එංගලන්තය තරග 2ක් සහ ඉන්දියාව එක් තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

මේ අතර 2021-23 කාලය තුළ එංගලන්තය විසින් ටෙස්ට් ක්‍රිකට් තරග 38කට ක්‍රීඩා කිරීමට නියමිත ව තිබුණා. එමෙන්ම එම කාලසමය තුළ ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ටෙස්ට් තරග 30ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වුනා. 

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කාලසීමාව තුළ ක්‍රීඩා කිරීමට නියමිත ව තිබුණේ තරග 21ක් පමණයි. 

මෙම වසරේ මුල භාගයේ දී Dhaka Primer League තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශයට ගිය අවස්ථාවේ Cricbuzz වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න විසින් පවසා තිබුණේ පවතින තත්වයේ බරපතළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙන් ICCයට ද සැල කිරීමට උත්සාහ දරනා බවයි. 

“ඇත්තටම මම ටෙස්ට් ක්‍රිකට්වල හොඳ අනාගතයක් දකින්නේ නැහැ. මොකද ඉන්දියාව (එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව) හැර අනෙක් රටවල් අඩු ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරන්නේ. අපි ICCයට වගේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් නිතරම කියනවා තවත් තරග පවත්වන්න කියලා. 

ඔබ දන්නවා අපි පසුගිය වසරේ ටෙස්ට් තරග 6යි (8) ක්‍රීඩා කළේ. මේ වසරේ අපි ක්‍රීඩා කරන්නේ තරග 6යි. අපි වසර දෙකකට තරග 12යි (14) ක්‍රීඩා කරන්නේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට එය ප්‍රමාණවත් නැහැ.  

මම හිතන්නේ ටෙස්ට් ක්‍රිකට්වලට කුමන ආකාරයේ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු ද කියලා ICCය විසින් නැවත සලකා බැලිය යුතුයි.” 

ටෙස්ට් ක්‍රිකට් යනු හොඳම තරග රටාව බවත්, බොහෝ දෙනෙකු විසින් එය කැමැත්තෙන් රස විඳින බවත් සඳහන් කරන දිමුත් විසින් පවසන්නේ ICC විසින් ටෙස්ට් ක්‍රිකට් බිඳ වැටීමට ඉඩ ලබා නොදෙනු ඇති බවයි. 

මේ වන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක ම පාහේ විස්සයි විස්ස ලීග් තරගාවලි පැවැත්වෙන නිසා, රටවල් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලි ප්‍රමාණය අවම කර (විස්සයි විස්ස ලෝක කුසලානය පමණක් පවත්වා) අදාළ කාලය ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට ලබා දීමෙන් මෙම ගැට‍ළුවට විසඳුමක් ලබා දිය හැකි බව දිමුත් විසින් මෙහි දී යෝජනා කර තිබෙනවා. 

එමෙන්ම මෙය ශ්‍රී ලංකාවට පමණක් බල පෑ ගැට‍ලුවක් නොවන බව සහ නවසීලන්තය වැනි රටවල් පවා මෙම ටෙස්ට් තරගවල හිඟ බව නිසා අපහසුතාවට පත් වී ඇති බවයි දිමුත් මෙම සාකච්ඡාවේ දී Cricbuzz වෙත සඳහන් කර තිබුණේ. 

“නවසීලන්තයේ සිදු කළ අවසන් තරගාවලියේ දී මම Kane Williamson සමඟ කතාබහ කළා. ඔවුනුත් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ අඩුවෙන්. ඒ නිසා හැමෝම කැමතියි වැඩියෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. මොකද දිගු කාල පරතර (ටෙස්ට් තරග නොමැතිව) ක්‍රීඩකයින්ට හොඳ නැහැ.  

මම පසුගිය වසරේ තරග හතක දී ටෙස්ට් ලකුණු 1000ක් ලබා ගත්තා. මම ටෙස්ට් තරග 11-12ක් ක්‍රීඩා කළා නම් මට Joe Rootව පසු කර යන්න ඉඩ තිබුණා.” 

එමෙන්ම ICC ශ්‍රේණිගත කිරීම් හි මෙන් ම වසරේ වැඩි ම ටෙස්ට් ලකුණු සහ කඩුලු ලාභීන් අතර ද ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හට ප්‍රමුඛතාව ලැබීමට හේතුව වන්නේ ඔවුන්ට තරම් අනෙකුත් කණ්ඩායම්වලට ටෙස්ට් තරග නොලැබීම බවයි දිමුත් විසින් සඳහන් කරන්නේ. 

“අපි පාලක මණ්ඩලයට (SLC) කතා කළා, ඒ වගේ ම ICCය වෙත පණිවුඩ යැවීමට උත්සාහ කළා. 

ඔබ දන්නවා, 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මිය යමිනුයි පවතින්නේ, අපි එයට නැවත පණ දිය යුතුයි.  

මම 2015-16 කාලයේ වසරකට අවම වශයෙන් ටෙස්ට් තරග 12-15ක් පමණ ක්‍රීඩා කළා, නමුත් දැන් අපි වසරකට ක්‍රීඩා කරන්නේ තරග 6-7ක් පමණයි.  

Covid වලින් පසුව අපි විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කළා, නැවතත් විස්සයි විස්ස ලෝක කුසලානයක් ක්‍රීඩා කළා. දැන් පන්දුවාර 50 ලෝක කුසලානයක් තියෙනවා. ඒ වගේ ම දැන් අපි ටෙස්ට් ක්‍රිකට් වලටත් ප්‍රමුඛතාව ලබා දිය යුතුයි.” 

අනෙක් ක්‍රිකට් තරග රටා දෙකට මෙන් ම ටෙස්ට් ක්‍රිකට් සඳහා ද අවශ්‍ය අවධානය හිමි විය යුතු බව දිමුත් එසේ සඳහන් කරන්නේ මිය යමින් තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ හදවතට නැවත පණ දීමේ අරමුණ ඇතිවයි. 

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<