ඕස්ට්‍රේලියානු විශිෂ්ටයා අවාසනාවන්ත රෝගයකට ගොදුරු වෙයි!

2001
Allan Border

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Allan Border විසින් තමා හට පාකින්සන් රෝගය වැළඳී ඇති බව අණාවරණය කර තිබෙනවා.

මේ වන විට 67 හැවිරිදි වියේ පසු වන Border විසින් පවසන්නේ තමන්ට මෙම රෝගය වැළඳී ඇති බව සොයා ගනු ලැබුවේ 2016 වසරේ දී බවයි. 

“මම ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත ගිය විට ඔහු කෙළින්ම කිව්වා ‘මට කනගාටුයි ඔබට මේක කියන්න. නමුත් ඔබට පාකින්සන් වැළඳිලා. ඔබ ඇවිද ගෙන ආ ආකාරයෙන් එය කියන්න පුළුවන්. ඔබේ අත් කෙළින්ම පහළට තිබුණේ, පැද්දුණේ නැහැ.'” 

Border විසින් සිය රෝගය හඳුනා ගත් ආකාරය ඒ අයුරින් විස්තර කර තිබුණා. 

එමෙන්ම මෙම රෝගය නිසා කිසිවෙකු හෝ තමන් වෙත අවධානය යොමු කිරීම අවශ්‍ය නොවූ බවත් Border විසින් මෙහි දී සඳහන් කර තිබුණා. 

“මම ගොඩක් පෞද්ගලික මනුස්සයෙක්. ඒ වගේ දෙයක් නිසා මිනිස්සු මට අනුකම්පා කිරනවා දකින්න මට අවශ්‍ය වුනේ නැහැ. මිනිස්සු ඒ ගැන සැලකිලිමත් වෙනවා ද කියලා ඔබ දන්නේ නැහැ. නමුත් මම දන්නවා මිනිස්සු මේක දකින දවසක් එනවා කියලා.

මම ගොඩක් අයට වඩා හොඳයි කියලා මට දැනෙනවා. මේ මොහොතේ මම බය වෙලා නෙවෙයි ඉන්නේ. කොහොම වුනත් මගේ මෑත අනාගතය ගැන නෙවෙයි.

මට දන් වයස 68ක් (67 දින 339). මම 80ක් වෙනකම් හිටියොත් ඒක ආශ්චර්යක්. මට වෛද්‍ය මිතුරෙක් ඉන්නවා. මම ඔහුට කිව්වා මම 80 වෙනකම් හිටියොත් ඒක ආශ්චර්යක් වේවී කියලා. ඔහුත් කිව්වා ‘ඒක ආශ්චර්යක් වේවී කියලා.” 

Newscorp පුවත් සේවය වෙත අදහස් දක්වමින් Border විසින් සිය රෝගය පිළිබඳ අදහස් එසේ බෙදා ගත්තා. 

1979-94 කාලසීමාවේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ Border විසින් ටෙස්ට් ක්‍රිකට් තරග 156කට ක්‍රීඩා කළ අතර එහි දී ඔහු විසින් ලකුණු 11,174ක් ලබා ගැනීමට සමත් වුනේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 සීමාව පසුකර ගිය ලොව පළමුවැනි පිතිකරුවා බවට පත් වෙමිනුයි.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 273ක් ක්‍රීඩා කළ Border විසින් ලකුණු 6524ක් ලබා ගැනීමට ද සමත් වුනා. මේ අතර වත්මන් ලොව ක්‍රිකට් කප්පිත්තන් බවට පත් වෙමින් අවස්ථා 5ක දී එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් වීමට සමත් ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු වරට එක්දින ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීම වෙනුවෙන් මෙහෙයවීමේ වගකීම දැරුවේ ද Allan Border විසිනුයි.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව Border විසින් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු නිලධාරියෙකු ලෙස මෙන් ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ද කලක් සිය සේවය ලබා දුන්නා.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ දී ශතක 30ක්  (ටෙස්ට් 27+එක්දින 3) වාර්තා කර ගැනීමට සමත් වූ Border පවසන්නේ තමන්ට තවත් ශතකයක් කරා යෑමට කිසිසේත් ම අවස්ථාවක් නොමැති බවයි.

“මට තවත් 100ක් ලබා ගන්න කිසිම අවස්ථාවක් නැහැ. මම සෙමින් බටහිර දෙසට ලිස්සා යමිනුයි ඉන්නේ.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<