ත්‍රිත්ව සහ දේවපතිරාජ ක්‍රීඩකයින්ට ජය පැන්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

500

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (17) නිමාවට පත්වුනා.

එම තරගවල දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරාජය කරමින් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය පරාජය කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් හිමි වුනා.

මොරටුවේ දී ක්‍රියාත්මක වුනු ත්‍රිත්ව – වේල්ස් කුමර තරගයේ දී ත්‍රිත්ව ආරධනයෙන් පළමුව පන්දුවට පහර දුන් වේල්ස් කුමරුවන් සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 91ක් පමණයි. ඔමේෂ් මෙන්ඩිස් ලකුණු 26ක් ලබාගෙන වේල්ස් කුමර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙද්දී, ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ වමතින් දඟපන්දු යවන තීරක රණතුංග කඩුලු 3 බැගින් දවා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම දියත් කළ ත්‍රිත්ව ක්‍රීඩකයින් පන්දුවාර 26කුත් පන්දු 2ක් අවසානයේ දී එම ඉලක්කය හඹා යමින් ප්‍රසාද ලකුණක් ද සමඟින් තරගය ජයග්‍රහණය කළ අතර 19න් පහළ ජාතික සංචිතය නියෝජනය කළ පවන් පතිරාජ නොදැවී ලකුණු 24*ක් ලබා ගන්නට සමත් වුනා.

මෙවර එක්දින තරගාවලිය තුල දැනට තරග 3ක් ක්‍රීඩා කර ඇති ත්‍රිත්ව විද්‍යාලය ලබා ගත් පළමු ජයග්‍රහණය මෙය වන අතර ඔවුන් ක්‍රීඩා කළ තවත් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වුනා.

Tier B කොටසේ තරගයක් ලෙස මාතර දී ක්‍රියාත්මක වුනු සාන්ත සර්වේසස් – දේවපතිරාජ තරගයේ දී කණ්ඩායම් දෙකේම නායකයින් වුනු හසිත අමරසිංහ (සාන්ත සර්වේසස් – ලකුණු 56) සහ පවන් සංදේශ් (දේවපතිරාජ – ලකුණු 64) අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුනා.

කෙසේ නමුත් අවසානයේ දී කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් අත්විඳීමට දේවපතිරාජ කණ්ඩායමට සමත් වුනා. දකුණතින් පා දඟපන්දු යවන මතීෂ සාරංග දේවපතිරාජය වෙනුවෙන් කඩුලු 4ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා.

Tier A

ත්‍රිත්ව විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණය

වේල්ස් කුමර විද්‍යාලය – 91 (24.5): ඔමේෂ් මෙන්ඩිස් 26, සුමල්ක ප්‍රනාන්දු 24, තීරක රණතුංග 3/03, මතීෂ පතිරණ 3/26, තරණ විමලධර්ම 2/08

ත්‍රිත්ව විද්‍යාලය – 92/5 (26.2): පවන් පතිරාජ 24*, අචල පෙරේරා 2/12, මහිංස ද සිල්වා 2/23.

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 5ක ජයක්


Tier B

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය

සාන්ත සර්වේසස් විද්‍යාලය – 205/8 (50): හසිත අමරසිංහ 56, විශ්ව සුපුන් 37, දිනිරු අබේවික්‍රමසිංහ 32, මතීෂ සාරංග 4/28

දේවපතිරාජ විද්‍යාලය – 206/9 (44.4): පවන් සංදේශ් 64, මතීෂ සාරංග 35, ජීවක ශෂීන් 32, දර්ශක සංදීප 24, තරුෂ් දම්මිදු 3/27, විරාන් චමුදිත 3/33.

දේවපතිරාජ විද්‍යාලයට එක් කඩුල්ලක ජයක්

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (18) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තවත් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<