ධනුෂ්ක සිඩ්නි හිදී අත්අඩංගුවට; සඳුදා අධිකරණයට!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

542

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හී නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවකට සිදු වූ ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලිසිය විසින් චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන ඇති බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

මේ සතිය මුල Rose Bay හී නිවසක දී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක් වී ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව, සිඩ්නි හී ක්‍රිකට් කණ්ඩායම නැවති සිටි හෝටලයේ සිට ඉරිදා (6) අලුයම් කාලයේ දී ගුණතිලකව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Online Dating Application එකක් හරහා දැන හඳුනා ගත් කාන්තාවක් සමඟ දින ගණනක සිට සන්නිවේදනය කිරීමෙන් පසුව ඔහු එම කාන්තාව මුණ ගැසී ඇති අතර පසුව ඔහු විසින් නොවැම්බර් 02 වැනිදා ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

“මේ වන විට පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණයක කොටසක් ලෙස ඊයේ (05) Rose Bay ලිපිනයකට අදාළ ස්ථානයක දී විශේෂඥ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණයක් මෙහෙයවූවා. වැඩි දුරටත් සිදු කළ පරීක්ෂණ කටයුතුවලට අදාලව සිඩ්නි හී සසෙක්ස් වීදියේ පිහිටි හෝටලයක දී අද (06) අලුයම 1ට පමණ 31ක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව Sydney City පොලිස් ස්ථානයට රැගෙන ගිය ඔහුට විරුද්ධව කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමට විරුද්ධව චෝදනා 4ක් ගොනු කර තිබෙනවා.”

සිදුවීම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් ලබා දුන් ප්‍රකාශයේ එසේ සඳහන් වී තිබුණා.

මේ අතර සිදුවීම තහවුරු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ ධනුෂ්ක ගුණතිලක හෙට (07) අධිකරණයේ ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවයි.

එමෙන්ම ඔවුන් අධිකරණයේ ක්‍රියාපටිපාටීන් නිරීක්ෂණය කරන බවත්, ICC සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, එයින් ඔහු වරදකරු බව සනාථ වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කළ පසුවත් ධනුෂ්ක ගුණතිලකව අතිරේක ක්‍රීඩකයකු ලෙස (Stand – by Player) දිගින් දිගටම කණ්ඩායම සමඟ රඳවා තබා ගැනීමට හේතුව පැහැදිලි කර තිබුණා.

“ගුණතිලක ඇති වූ ආබාධයෙන් ඉක්මනින් සුවය ලබමින් සිටි නිසා වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමනාකාරිත්වය සහ තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ක්‍රීඩකයා ඒ වන විටත් ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්වයන්ට හුරු වී සිටි නිසාත්, ඔහුට කණ්ඩායම සමඟ දිගටම පුහුණු වීම් කළ හැකි බැවිනුත්, අවශ්‍ය වුවහොත් වහාම නැවත සංචිතයට එක් කර ගැනීමට හැකියාව තිබූ නිසාත්, ඔහුව කණ්ඩායම සමඟ තබා ගැනීමට තීරණය කර ඇත.”

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ දී ම ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ගුණතිලක සංචිතයෙන් ඉවත් කළ නමුත් ඔහු දිගටම ඔහු කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබෙනවා.

2015 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසි ඔහු මේ වන විට ටෙස්ට් තරග 8ක්, එක්දින තරග 47ක් සහ විස්සයි විස්ස තරග 46ක් ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) දිනයේ දී මෙවර ලෝක කුසලානයේ සිය අවසන් තරගය එංගලන්තය සමගින් ක්‍රීඩා කළ අතර එහි දී එංගලන්තය හමුවේ පරාජය වීමට ඔවුන්ට සිදු වුනා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<