වෙනස්කම්වල වටිනාකම මහීෂ් පෙන්වා දෙයි

World Cup Qualifiers 2023

4765

එකිනෙකට වෙනස් ආකාරයේ පන්දු යවන්නන් සිටීම නිසා තම කණ්ඩායමේ පන්දු යැවීමේ බළඇණිය ඉතාමත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලාංකික දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් දෙක ලෙස රැඳී සිටි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් ඊයේ (02) දිනයේ එකිනෙකා සමඟ තරග වැදුණු නමුත් බොහෝ දෙනෙකු විසින් බලාපොරොත්තු වූ තරම් තියුණු තරගයක් එහි දී දැක බලා ගැනීමට නම් හැකියාවක් ලැබුණේ නැහැ. 

විශේෂයෙන්ම මෙතෙක් තරගාවලිය පුරාවට පිතිකරණයෙන් අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 165කට දැවී යාමත් සමඟින් ශ්‍රී ලංකාවට අතිශය පහසු කඩඉමක් තරණය කිරීමේ අභියෝගයකුයි එල්ල වුනේ 

මෙහි දී තරගාවලිය පුරාවටම දක්ෂතා පෙන්වූ පිතිකරණ පද්ධතියක් බිඳ හෙළීමට ශ්‍රී ලංකාව සතු වූ වෙනස් පන්දු යැවීමේ බළඇණිය හේතු වූ බවයි මහීෂ් තීක්ෂණ විසින් සඳහන් කරන්නේ. 

“අපි සතුව ඇති වෙනස්කම් තමයි අපේ කණ්ඩායමේ ප්‍රධාන කොටස වෙන්නේ. වනිඳු, මම, මතීෂ සහ ඩිල්ශාන් අපි වෙනස් දේවල් කරන හතර දෙනෙක්. 

එකම කණ්ඩායමේ වෙනස් විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හතර දෙනෙක් සිටීම අපිට වාසියක්. ඒ නිසා තමයි අපි පන්දු යැවීමෙන් ඉතාමත් හොඳ දක්ෂතා දක්වන්නේ. කවුරු හරි හොඳට නොකළොත්, හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් තව තුන් දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා.” 

ඊයේ තරගයේ දී සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කර ගනිමින් ලකුණු 25කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ මහීෂ් තීක්ෂණ විසින් සිය කණ්ඩායමේ පන්දු යැවීමේ ශක්තිය කෙතරම් ද යන්න එසේ පැහැදිලි කළා.  

ඊයේ තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීර හෝ තරගාවලියේ එතෙක් දස්කම් අතර සිටි ලහිරු කුමාරගේ සහභාගීත්වය නොලැබුණත්, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක විසින් ඔවුන්ගේ වේගපන්දුවේ අඩුව පිරවීමට සමත් වුනේ සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට සමත් වෙමිනුයි. 

එමෙන්ම මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකාව විසින් ක්‍රීඩා කළ තරග 6 තුළ දී ම ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් ප්‍රතිවාදී පිතිකරණ බළඇණි ලකුණු 200ට අඩුවෙන්* දවා ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයක්. 

(*මීට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙකේ දී ද ඇෆ්ගනිස්තානය ලකුණු 200ට අඩුවෙන් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එම නිසා ඔවුන් නොකඩවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 8ක දී සිය ප්‍රතිවාදීන් ව ලකුණු 200ට අඩුවෙන් දවා ගැනීමට සමත් වී තිබෙනවා.) 

මේ අතර සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉහළ ම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වීමට වනිඳු හසරංග (කඩුලු 20) සමත් වී ඇති අතර, එහි දෙවන ස්ථානය මහීෂ් තීක්ෂණ හට (කඩුලු 13) හිමි වී තිබෙනවා. 

හසරංග සහ මම අතරේ ඉතාම හොඳ සබඳතාවක් තියෙනවා. විස්සයි විස්ස තරගවල සමහර දවස්වලට ඔහු කඩුලු ලබා ගන්නවා, මම ලකුණු 24ට අඩුවෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් අපි දෙදෙනා ම හොඳින් කරන එක ඇත්තටම හොඳයි. ඔහු අද (02) කඩුලු ලබා ගත්තේ නැහැ. නමුත් ඉතා හොඳින් පන්දු යැව්වා.

එක අන්තයකින් ඔහු හොඳින් පන්දු යවද්දී, අපි දන්නවා අනෙක් අන්තයෙන් අපිට කඩුලු ලබා ගන්න පුළුවන් කියලා. ඒක හැම විටම සබඳතා ගැන දෙයක්, ඒක පිතිකරණයෙන් හෝ පන්දු යැවීමෙන් ඇති වෙන්න පුළුවන්. 

ඔහු ශූර පන්දු යවන්නෙක්. ඔහු දැනට තරගාවලියේ කඩුලු 20ක් දවා ගෙන තියෙනවා. ඒක කණ්ඩායමට ඉතාම හොඳයි.” 

මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග හයෙන් තරග හතරක ම තරගයේ වීරයා සම්මානය වනිඳු සහ මහීෂ් අතරේ බෙදී යාමෙන් ම මහීෂ් විසින් ඉහතින් සඳහන් කරන කරුණේ සත්‍යතාව තහවුරු කරනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ඇති අතර, ඊට පෙර 07 වැනිදා ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග ද්විත්වය තුළ දී ශ්‍රී ලාංකික පන්දු යැවීම කෙතරම් සාර්ථක වනු ඇති දැයි ප්‍රේක්ෂකයින්ට නැවත වරක් විනිශ්චය කිරීමට අවකාශය හිමි වී තිබෙනවා. 

තරගාවලිය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<