අළුබඳුන වාග් සංග්‍රාමය තවත් උණුසුම් වෙයි!

The Ashes 2023

2124

2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ තවමත් පවත්වා ඇත්තේ එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් පමණක් වුව ද, මේ වන විටත් එංගලන්ත-ඕස්ට්‍රේලියා ද්වන්ද සංග්‍රාමයේ උණුසුම පිටියෙන් ඉවතට ද ඇදී ගොස් හමාරයි.

ඒ වෙනුවෙන් හේතු වූ ප්‍රධානතම පුද්ගලයා ලෙස එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Ollie Robinsonව හඳුන්වා දිය හැකි අතර ඔහු විසින් පළමු අළුබඳුන තරගයේ දී Usman Khawaja අරභයා සිදු කළ ආවේගශීලී හැසිරීමකින් පසු සහ ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රකාශයකින් පසු දෙරටේ ක්‍රීඩකයින් අතර මෙම වාග් සංග්‍රාමය ආරම්භ වුනා.

අළුබඳුන පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර එහි දී Robinson විසින් අපහාසාත්මක ව ඉලක්ක කළ ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් විසින් ම මෙම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව වෙත ලබා දීමට සමත් වීම විශේෂත්වයක්.

එමෙන්ම එම තරගයෙන් පසුව Ollie විසින් සිය හැසිරීම පිළිබඳ හේතු දක්වමින් සඳහන් කළේ මේවා අතීතයේ දී Ricky Ponting ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන්ගෙන් තමන්ට ද සිදු වූ බවයි.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගය අතරතුර ඇවිලීම ආරම්භ වූ ගින්නට තවත් වරක් පිදුරු දැමූ Ollie Robinson විසින් තරගය නිමා වීමෙන් පසුව Wisden සඟරාව වෙත ලිපියක් සපයමින් පවසා සිටියේ තරගය පරාජය වුවත් එය ජයග්‍රාහී හැඟීමක් තමන් වෙත ගෙන ආ බව සිය පුහුණුකරු Brendon McCullumගේ අදහස වූ බවයි.

“Baz තරගයෙන් පසුව කිව්වේ, ‘ඒක අපි දිනුවා වගේ දැනෙනවා කොල්ලෝ. අපි ලෝකය විනෝදවත් කළා. අපි ඕස්ට්‍රේලියාව පසු පාදයට දැම්මා.’ කියලයි.”

නමුත් Robinson විසින් සිදු කළ මෙම සඳහනට හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke විසින් ලබා දුන්නේ වෙනස් ම ආකාරයේ පිළිතුරක්.

“මට නම් දින්නාම දිනුවා වගේ දැනෙනවා, පැරදුණාම පැරදුණා වගේ දැනෙනවා. ජය පරාජයකින් තොරව අවසන් වුනොත් ඒ වගේ දෙයක් පැවසීම ගැන ඔබට හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම ඔබ පැරදුණා!

ඕකට කියන්නේ ධනාත්මක බවේ උපරිමය කියලා.

පැරදුණාම දිනුමක් වගේ දැනුණා?

අපි පැරදුණාම මට දැනුණු හැඟීම් වලට වඩා වෙනස් හැඟීමක් ඒක.”

ජය පරාජය පිළිබඳ Macculum විසින් පැවසූ ප්‍රකාශයට Clarke විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් එසේ පවසා සිටිනවා.

එමෙන්ම Robinson විසින් Wisden වෙත සම්පාදනය කළ ලිපියේ දී ඕස්ට්‍රේලියාව විසින් ක්‍රීඩා කළ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය (පළමු ටෙස්ට් තරගයේ දී) පිළිබඳ තමන් පුදුමයට පත් වූ බවත් සඳහන් කර තිබුණා.

මේ ප්‍රකාශය ද Clarkeගේ අවධානයට යොමු වී තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් පවසා තිබුණේ එවැනි දෑ පැවසීමට තරම් දෙයක් තවමත් Ollie විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිදු කර නොමැති බවයි.

“එංගලන්තය සම්පූර්ණයෙන්ම ෆිට් නම් ඔයාට තරගයක් වත් ලැබෙන්නේ නැහැ Ollie.

Jofra Archer ක්‍රීඩා කළා නම් හෝ Wood (Mark) හොඳ යෝග්‍යතාවයකින් හිටියා නම් ඔහු ක්‍රීඩා කරන්නේ කුමන ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔහුට ආයෙත් ක්‍රීඩා සමාජ තරගවලට තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ.

මම දන්නේ නැහැ මෙයා මොනවද කරන්නේ කියලා. James Anderson මේ දේවල් කියනවා නම්, ඔහුට පිළිගැනීමක් තියෙනවා. ඔහු ටෙස්ට් තරග 180ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු විශාල කඩුලු ප්‍රමාණයක් දවා ගෙන තියෙනවා. මේ ක්‍රීඩකයා විනාඩි පහක් විතර ඉඳලා තියෙන්නේ.

ඔහු කඩුලු ලබා ගැනීම වෙනුවෙන් අවධානය යොමු කළ යුතුයි. Ollie දිගටම කඩුලු 4-5 ඒවා ලබා ගන්න. එවිට ඔබ කැමති දේ කියන්න පුළුවන්.”

මේ අතර මෙම වාග් සංග්‍රාමය මේ වන විට දෙරටේ වත්මන් සහ හිටපු ක්‍රීඩකයින් අතරේ පමණක් නොව දෙරටේ ම මාධ්‍ය අතර පවා ප්‍රධාන මාතෘකාවක් වී හමාරයි.

මෙහි දී බ්‍රිතාන්‍ය පුවත්පතක් වන The Guardian මඟින් එංගලන්තයේ නවතම ක්‍රීඩා රටාව නැතහොත් Bazball ක්‍රීඩා රටාව අලුත් සංස්කෘතික මාවතක් විවර කළ බවයි සඳහන් කරන්නේ. එමෙන්ම එහි දී Brendon McCullum විසින් පසුගිය සතියේ Bazball පිළිබඳ මාධ්‍ය වෙත පළ කළ අදහසක් උලුප්පා දක්වන Guardian පුවත්පත සඳහන් කරන්නේ Bazball සෑම විටම ජයග්‍රහණය කරනා බවයි.

කෙසේ වෙතත් Ollie විසින් ආරම්භ කළ මෙම වාග් සංග්‍රාමයට ඔහුගේ කණ්ඩායම් සගයා Stuart Broad ද සිය අදහස් එකතු කර තිබෙනවා.

මෙහි දී Robinson විසින් හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting ඈඳා ගනිමින් සිදු කළ ප්‍රකාශයකට Ponting සහ Mathew Hayden විසින් පිළිතුරු ලබා දී තිබුණා. එම පිළිතුරෙන් පසුව එයට මැදිහත් වීමට Stuart Broad විසින් තීරණය කරනවා.

“Khawaja දවා ගත් පසු Ollie දැක්වූ ප්‍රතිචාර ගැන ICCයට ගැට‍ලුවක් තිබුණේ නැහැ. Mathew Hayden විසින් ඔහු ගැන සිදු කළ පහත් ප්‍රකාශ වලට මම කැමති නැහැ.

Ollie හොඳ කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළා, ඔහු ටෙස්ට් තරගවල 21ක සාමාන්‍යයක් රඳවා ගෙන ඉන්නවා. ඒ වගේ ම ඔහු Glenn McGrathට සමාන අයුරකින් පන්දු යනවා.”

මාධ්‍ය හමුවක දී Robbo (Robinson) විසින් ඔහුගේ නම ඈඳ ගත්තු නිසා Ricky Pontingට ඒක ටිකක් දැනෙන්න ඇති. නමුත් ඒ Ricky ලොකු Sledger කෙනෙක් නිසා නම් නෙවෙයි. Ricky Ponting තමයි ඒ වෙලාවේ ඔහුගේ ඔළුවට ආපු ප්‍රසිද්ධ ම හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා.”

මේ අතර තවත් එංගලන්ත ක්‍රීඩකයකු වන Zak Crawley විසින් පසුගිය දිනක සඳහන් කර තිබුණේ ලෝඩ්ස් හිදි පැවැත්වීමට නියමිත තරගාවලියේ දෙවැනි තරගය තම කණ්ඩායම ලකුණු 150කින් ජයග්‍රහණය කරනා බවයි.

ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Travis Head විසින් ඉතා සරල පිළිතුරක් ලබා දෙමින් Crawleyව නිරුත්තර කිරීමට සමත් වුනා.

“පෙනෙන විදිහට අපි ලෝඩ්ස් වලට යන්නේ දිවා ආහාරය වෙනුවෙන් විතරයි වගේ.”

කෙසේ වෙතත් ලබන බදාදා (28) දිනයෙන් ආරම්භ වීමට නියමිත දෙවන අළුබඳුන ටෙස්ට් තරගය සමඟ මෙම වාග් සංග්‍රාමය තවත් උණුසුම් වනු ඇති බව අනුමාන කළ හැකි. එමෙන්ම ඒ පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Fox Cricket ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<