ලෝක කුසලානයේ සංක්‍රමණිකයෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

3711

විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වී තියෙද්දී වෙනත් රටක ඉපදී තවත් රටකට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ද හමුවෙනවා. ඒ අතරින් වැඩිම දෙනෙක් හමුවෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්.

එවැනි ක්‍රීඩකයෝ 21 දෙනෙක් අපට හමුවෙනවා. මේ ඔවුන් ගැන කෙරෙන කෙටි හැඳින්වීමක්.

Mark Chapman (නවසීලන්තය)

2014 වසරේ දී 20 හැවිරිදි වියේ පසු වූ Mark Chapman ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ හොංකොං රාජ්‍ය වෙනුවෙන්. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව එරටේ දී.

 තම මංගල තරගයේ දී පන්දු 116කට මුහුණ දෙන ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින්  ලකුණු 124ක් ලබා ගනිමින් එවැන්නක් කළ ලොව 10 වැනි ක්‍රීඩකයා බවට පත් වෙනවා.

එම තරගයත් සමග තවත් එක් එක්දින තරගයකට පමණක් ක්‍රීඩා කරන ඔහු අනතුරුව 2018 වසරේ දී නවසීලන්ත කණ්ඩායම හා එක් වෙනවා. එතැන් සිට ඔහු නවසීලන්තයට ක්‍රීඩා කළ එක්දින තරග සංඛ්‍යාව 5ක්.

හොංකොං රාජ්‍ය වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19කට ක්‍රීඩා කර ඇති Mark Chapman ලබා ඇති ලකුණු සංඛ්‍යාව 382ක්. නවසීලන්තය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කර ඇති තරග සංඛ්‍යාව ද 19ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 354ක්.

මේ ඔහුගේ මංගල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියයි.

Devon Conway (නවසීලන්තය)

දකුණු අප්‍රිකාවේ Johannesburg හී උපත ලද Devon Conway පළමු පෙළ තරග සඳහා පමණක් එරට නියෝජනය කළ ක්‍රීඩකයෙක්. 2017 වසරේ දී නවසීලන්තයට පිවිසෙන ඔහු 2019 සහ 2020 වසර ද්විත්වයේ දී නවසීලන්ත දේශීය තරග පිටියේ වසරේ ක්‍රීඩකයා බවට පත් වෙනවා.

 Conway නවසීලන්ත කණ්ඩායම හා එක්වෙන්නේ 2021 වසරේ දී. එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔහු එහි දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වෙනවා. එය කෝඩුකාර ක්‍රීඩකයෙක් ලෝඩ්ස් පිටියේ දී වාර්තා කරන ලද පළමු ද්විත්ව ශතකය වන අතර නවසීලන්තය වෙනුවෙන් එවැන්නක් කළ දෙවැනියා බවට ද පත් වුනා.

මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 9ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින්  ලකුණු 363ක් ලබා ඇති ඔහු විස්සයි විස්ස තරග 27කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 927ක්.

Glenn Phillips (නවසීලන්තය)

 දකුණු අප්‍රිකාවේ උපත ලද 25 වියැති Glenn Phillips වයස අවුරුදු 5දී තම පවුලේ සාමාජිකයන් සමඟ නවසීලන්තයට පිවිසි අයෙක්.

2020 වසරේ දී නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා Phillipsට ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ මංගල තරගය පමණයි. අනතුරුව නැවත ඔහු නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ ඊට වසර දෙකකට පසු 2022 වසරේ දී. එතැන් සිට මේ දක්වා ඔහු විස්සයි විස්ස තරග 48කට ක්‍රීඩා කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් ද සහිතව ලකුණු 1065ක් ලබා සිටිනවා.

Ish Sodhi (නවසීලන්තය)

 Inderbir Singh Sodhi හෙවත් Ish Sodhi උපත ලබන්නේ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ Ludhiana ප්‍රදේශයේ. තම දෙමාපියන් සමඟ වයස අවුරුදු 4ක් වෙද්දී ඉන්දියාවෙන් පිටමං වෙන Sodhi නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ 2013 වසරේ සිටයි.

මේ දක්වා ඔහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 17කට, එක්දින ජාත්‍යන්තර තරග 37කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 80කට සහභාගී වී සිටිනවා. පා දඟපන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන ඔහු විස්සයි විස්ස තරගවල දී කඩුලු 102ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

Shan Masood (පාකිස්තානය)

 කුවේට් රාජ්‍යයේ උපත ලද Shan Masood මැද පෙරදිග පැවති යුද්ධයේ දී ඉරාකය විසින් කුවේට් රාජ්‍යය ආක්‍රමණය කිරීමේ දී පාකිස්තානය වෙත සංක්‍රමණය වූ අයෙක්. Masoodගේ පියා පාකිස්තාන ජාතිකයෙක් වූ බැවින් ඔවුන් පැවති යුද්ධයේ දී සිය රට වෙත පිවිසෙනවා.

නමුත් නොබෝ කලකින් සිය දෙමාපියන් සමඟ එංගලන්තය බලා යන Masood සිය උසස් අධ්‍යාපනය එරට දී හදාරනවා. ඒ අතරතුර ඔහු තම පළමු පෙළ ක්‍රිකට් දිවිය එංගලන්තයේ Durham විශ්වවිද්‍යාල කණ්ඩායම සමඟ ආරම්භ කරනවා.

අනතුරුව නැවත පාකිස්තානය වෙත පිවිසෙන ඔහු මෙරට දී ක්‍රීඩා විද්‍යාවේදී කළමනාකරණ උපාධිය හදාරන අතරතුර පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙනවා. වසර කිහිපයක ඇවෑමෙන් ඔහු පාකිස්තානයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගැනීමට සමත් වෙනවා.

මේ වෙද්දී ඔහු ටෙස්ට් තරග 25කට සහ එක්දින ජාත්‍යන්තර තරග 5කට සහභාගී වී සිටිනවා. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 11ක ඔහුගේ දක්ෂතාව ලකුණු 201ක්.

Chris Jordan (එංගලන්තය)

 කැරිබියන් දූපත් සමූහයේ බාබඩෝස් හී උපත ලැබූ Chris Jordan තම මව් පාර්ශ්වයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් එංගලන්තයට සංක්‍රමණය වූ ක්‍රීඩකයෙක්. බාබර්ඩෝස් හිදී මූලික අධ්‍යාපනය ලද Chris Jordan උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට පිවිසෙනවා.

එතැන් සිටයි, ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ. එංගලන්තයේ Surrey කණ්ඩායම හා එකතු වෙන ඔහු 2007 වසරේ දී Surrey අනාගත ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වෙනවා.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිවල දී මෙන් ම තමන් උපත ලද බාබඩෝස් හී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද කාලයක් තිස්සේ දක්ෂතා දැක්වීමට Chris Jordan සමත් වෙනවා. ඒ අනුව ඔහුට එක ම වකවානුවක දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් මෙන් ම එංගලන්ත කණ්ඩායමෙන් ද ජාතික ක්‍රිකට් සංචිත සඳහා එක් වීමට කැඳවීම් ලැබෙනවා. එහි දී ඔහුගේ තේරීම වූයේ තම උපන් දේශයට වඩා තම මව් පාර්ශ්වයෙන් පුරවැසිභාවය හිමි වූ එංගලන්තයටයි.

ඒ අනුව ඔහු දකුණතින් වේගපන්දු  යවන ක්‍රීඩකයෙක් ලෙසින් 2013 වසරේ සිට එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකර ගැනීමට සමත් වෙනවා. ටෙස්ට් තරග 8කට සහ එක්දින ජාත්‍යන්තර තරග 34කට සහභාගී වී ඇති Chris Jordan මේ දක්වා විස්සයි විස්ස තරග 82කට සහභාගී වෙමින් කඩුලු 90ක් ලබා සිටිනවා.

Ben Stokes (එංගලන්තය)

Ben Stokesගේ පියා Gerard Stokes නවසීලන්ත රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ගෞරවනීය සේවයක් කළ කෙනෙක්. ක්‍රීඩකයෙක් සේ ම පුහුණුකරුවෙක් ලෙසින් එක කණ්ඩායම නියෝජනය කළ තැනැත්තෙක්. මේ දක්ෂතා නිසා ඔහුට බටහිර එංගලන්තයේ Workington Twon රගර් කණ්ඩායමේ පුහුණුකාර ධුරයක් ලැබෙනවා. ඔහු ඊට සහභාගී වෙන්නේ පවුලේ සාමාජිකයන් සමඟ.

ඒ වෙද්දී Ben Stokesට වයස අවුරුදු 12ක් ලැබුවා විතරයි. Benගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වීමත් මේ ගමනට හේතු වෙනවා. ඔහු ක්‍රිකට් අත්පොත් තබන්නේ වයස අවුරුදු 15 දී පමණ. තමන් ඉගෙන ගත් පාසල් කණ්ඩායම නියෝජනය කළ Ben පළමු වරට එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වෙමින්.

Ben Stokesගේ පියාගේ සේවය අවසන් වීමෙන් අනතුරුව නැවත නවසීලන්තය බලා පිටත් වීමට තීරණය කළත්, ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට තීරණය කරමින් නතර වෙනවා. ඒ අනුව Ben මේ වෙද්දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 86ක්, එක්දින ජාත්‍යන්තර තරග 105ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 36කට ක්‍රීඩා කර තිබෙනවා. විස්සයි විස්ස පිටියේ Ben ගේ දක්ෂතාවන් වන්නේ ලකුණු 458ක් සහ කඩුලු 20ක් ලෙසයි.

Tim David (ඕස්ට්‍රේලියාව)

සිංගප්පූරුවේ උපත ලද Tim Davidගේ පියා Rod David 1997 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සිංගප්පූරු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඔහු 1990 වසරේ සිට ම ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවෙක් ලෙසින් සේවය කළා. ඒ අතරතුර තමයි ඔහු සිංගප්පූර් කණ්ඩායම නියෝජනය කළේ.

1997 ආසියාවේ පැවති දැඩි ආර්ථික අවපාතය හේතුවෙන් කුඩා Tim ද රැගෙන ඕස්ට්‍රේලියාවට යෑමට ඔවුන්ගේ දෙමාපියන් කටයුතු කළා.

 ඒ අනුව එරට දී හැදී වැඩුණ Tim, පියාගේ අඩි පාරේ යමින් තම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළා. 2017-18 තරග සමයේ දී BBL තරගාවලියට එක් වෙන Tim එහි දී පෑ දක්ෂතා හේතුවෙන් සිංගප්පූරු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වීමට ආරාධනා ලැබෙනවා. ඒ අනුව 2018 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන Tim, ඊට පසු වසරේ දී සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නවා. ඒ අනුව ඔහු සිංගප්පූරුව වෙනුවෙන් විස්සයි විස්ස තරග 14කට සහභාගී වෙමින් ලකුණු 558ක් ලබා ගන්නවා.

ඒ වන විට ද ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය වෙනුවෙන් සුදුසුකම් සපුරා සිටි Tim සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර ම ඕස්ට්‍රේලියා පළමු පෙළ තරගවලට ද සහභාගී වූවා. එහි දැක්වූ දක්ෂතා හේතුවෙන් 2022 වසරේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම හා එක්වීමට ඔහුට අවස්ථාව ලැබෙනවා. එතැන් සිට ඔහුගේ තේරීම වන්නේ ඕස්ට්‍රේලියාවයි.

ඒ අනුව Tim මේ දක්වා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 7කට ක්‍රීඩා කරමින් ලකුණු 156ක් ලබා සිටිනවා.

Josh Inglis (ඕස්ට්‍රේලියාව)

එංගලන්තයේ උපත ලද 27 හැවිරිදි Josh Inglis සිය පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන්නේ ඔහුට වයස අවුරුදු 14ක් වෙද්දී. එතැන් සිට ඔහු ගේ ක්‍රිකට් දිවිය ඇරඹෙන අතර 2022 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නවා. මේ වෙද්දී ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින තරග 2කට සහභාගී වී ඇති අතර විස්සයි විස්ස තරග 9කට සහභාගී වෙමින් ලකුණු 220ක් ලබා සිටිනවා.

Richard Berrington (ස්කොට්ලන්තය)

දකුණු අප්‍රිකාවේ උපත ලද Richard Berrington කුඩා අවධියේ ම තම පවුලේ සාමාජිකයන් සමඟ ස්කොට්ලන්තයට සංක්‍රමණය වූ අයෙක්. ඔහු මේ දක්වා එරට වෙනුවෙන් එක්දින තරග 97කට ක්‍රීඩා කර තිබෙන අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 76කට ක්‍රීඩා කර තිබෙනවා.

ස්කොට්ලන්ත විස්සයි විස්ස තරග පිටියේ වැඩිම ලකුණුලාභියා වන්නේ ද Berrington. ඔහු මේ දක්වා ශතකයක් සහ අර්ධ ශතක 7ක් සමඟින්  ලකුණු 1718ක් ලබා තිබෙනවා. මෙවර ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ ද ඔහුට.

Curtis Campher (අයර්ලන්තය)

දකුණු අප්‍රිකාවේ දී උපත ලද Curtis Campher එරට වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ අයෙක්.

නමුත් එරට පැවති දේශපාලන අර්බුදකාරී වාතාවරණය හමුවේ ඔහුට අයර්ලන්තය කරා යෑමට අවස්ථාව උදා වෙනවා. ඊට එරට සිටි ඇයගේ මිත්තනියගේ සහයෝගය ද නොඅඩුව ලැබෙනවා. එසේ එරට පැමිණි ඔහු 2020 වසරේ දී අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. අනතුරුව එළඹි වසරේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ඔහු මේ වන විට තරග 21කට මුහුණ දී ලකුණු 265ක් සහ කඩුලු 18ක් දවාගෙන සිටිනවා.

 Simi Singh (අයර්ලන්තය)

ඉන්දියාවේ උපත ලද 35 වියැති Simi Singh 2018 වසරේ දී අයර්ලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගත ක්‍රීඩකයන් 19 දෙනා අතරින්  කෙනෙක්.

මේ වෙද්දී ඔහු අයර්ලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 35කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 49කට මුහුණ දී සිටිනවා. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වන Simi Singh විස්සයි පිටියේ දී මේ දක්වා තරග 49කට ක්‍රීඩා කරමින් කඩුලු 41ක් සහ ලකුණු 289ක් ලබාගෙන තිබෙනවා.

Chundangapoyil Rizwn (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ කේරළයේ උපත ලද Chundangapoyil Rizwn එක්සත් අරාබි එමීර් රාජ්‍යය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයායි. පියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ බැවින් Rizwn ද පවුලේ සිය සාමාජිකයන් සමඟ එරට ට පිවිසෙන්නේ වයස අවුරුදු 2ක කුඩා දරුවෙක් ව සිටිය දී.

පසුව උසස් අධ්‍යාපනය උදෙසා නැවත ඉන්දියාවට පිවිසෙන Rizwn, එම කාලයේ දී කේරළ වයස අවුරුදු 19න් පහළ සහ 23න් පහළ කණ්ඩායම් නියෝජනය කිරීමට සමත් වෙනවා. නැවත 2014 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිවිසෙන ඔහු විදුලි ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන අතර ම ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත වෙනවා.

2019 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට කැඳවීම් ලැබෙන Rizwn මේ වන විට එරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 29කට ක්‍රීඩා කර ඇති අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12කට ක්‍රීඩා කරමින් ලකුණු 218ක් ලබා තිබෙනවා.

Vriitya Aravind (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ උපත ලද 20 හැවිරිදි Vriitya Aravind එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම හා එක් වෙන්නේ 2019 වසරේ සිටයි. උසස් අධ්‍යාපනය සඳහා එරටට පිවිසෙන ඔහු 2020 වසරේ දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට ද පිවිසෙනවා.

Aravind එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කර ඇති අතර මේ වන විට එක්දින තරග 26ක් ද සහභාගී තිබෙනවා. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට සහභාගී වී ඇති ඔහු ලකුණු 470ක් ලබා ඇති අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 14කට දායක වී සිටී. කණ්ඩායමේ උප නායකයා ද වන්නේ ඔහුයි.

Aryan Lakra (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

 ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ උපත ලද Aryan Lakra එක්සත් අරාබි එමීර් රාජ්‍යය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් 2020 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී වූ ක්‍රීඩකයෙක්.

වමත් දඟපන්දු  යවන්නෙක් ලෙසින් කණ්ඩායම හා එක් ව සිටින Lakra මේ වන විට එරට වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 2කට සහ  විස්සයි විස්ස තරග 4කට සහභාගී වී සිටි.

Basil Hameed (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ උපත ලද Basil Hameed එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට ප්‍රථම ඉන්දියාවේ රංජි කුසලානය නියෝජනය කරමින් කේරළ කණ්ඩායම නියෝජනය කළා. අනතුරුව සිය රැකියාව වෙනුවෙන් එරට ට පිවිසෙන Hameed එරට පළමු පෙළ ක්‍රීඩා කරමින් 2019 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තා.

Chirag Suri (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ, නවදිල්ලි නගරයේ දී උපත ලද Chirag Suri වයස අවුරුදු 9 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වූ ක්‍රීඩකයෙක්. ඔහු උසස් අධ්‍යාපනය ද එරට දී හදාරණ Suri 2017 වසරේ දී එරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගන්නවා.

Kashif Daud (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

පාකිස්තානයේ උපත ලැබූ Kashif Daud එරට වෙනුවෙන් පළමු පෙළ තරග ක්‍රීඩා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වූ ක්‍රීඩකයෙක්. 2021 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කණ්ඩායම හා එක් වෙන Daud මේ දක්වා එක්දින තරග 119කට සහ විස්සයි විස්ස තරග 14කට ක්‍රීඩා කර සිටී.

Karthik Meiyappan (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ උපත ලද Karthik Meiyappan වයස අවුරුදු 12දී සිය පවුලේ සාමාජිකයන් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිවිසි අයෙක්. 2020 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළ Meiyappan මේ දක්වා එරට වෙනුවෙන් එක්දින තරග 8කට සහ විස්සයි විස්ස තරග 9කට ක්‍රීඩා කර තිබේ.

Alishan Sharafu (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

ඉන්දියාවේ උපත ලද Alishan Sharafu 2022 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ නායකයායි. ඒ වෙද්දී ද ඔහු එරට වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස තරග වරම් දිනා ගනිමින් ක්‍රීඩා කර තිබුණා. මේ වෙද්දී ඔහු එරට වෙනුවෙන් එක්දින තරග 7කට සහ විස්සයි විස්ස තරග 6කට ක්‍රීඩා කර තිබේ.

Zahoor Khan (එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

පාකිස්තානයේ උපත ලද Zahoor Khan 2017 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් නියොජනය කරන ක්‍රීඩකයෙක්. මේ දක්වා ඔහු එක්දින තරග 34කට සහ විස්සයි විස්ස තරග 33කට ක්‍රීඩා කර තිබේ. මේ තරග ද්විත්වයේ දී ඔහු මෙතෙක් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 100ක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<