අරවින්දගේ පිත්තෙන් වැඩ දැමූ ඩිලී!

2483

ක්‍රිකට් ක්‍රීඩාවේ අපි අහලා නැති අපූරු පසුබිම් කතාන්දර ගොඩක් හමුවෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්.

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යුගයක් වර්ණවත් කළ ක්‍රීඩකයෙක්. ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙන්නේ කළුතර ප්‍රදේශයෙන්.

ක්‍රිකට් ලෝකයේ හිණිපෙත්තටම ගියාට මේ ගමන ඒ තරම් සුන්දර එකක් වුනේ නෑ. ඔහුට ඔහුගේ ගමන් මගේ සෑහෙන දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වුනා. මේ ඩිල්ෂාන්ගේ මුල් කාලයට සම්බන්ධ කතාවක්.

මේ පහළින් තියන ඡායාරූපය 1999 වසරේ මැද ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර ගත්ත එකක්.

සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් එවර දේශීය පළමුපෙළ තරගවාරයේ පිත්තෙන් ඉහළ දස්කම් දක්වපු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු දහස ඉක්මවා රැස් කරගන්න සමත් වුනා. මේ දස්කම් මාලාව නිසාම ඔහුට ශ්‍රී ලංකා A කණ්ඩායමේ දොරටු විවර වුනා. සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මේ තරග සමයේ ආරම්භක පිතිකරුවාගේ කාර්‍යභාරය කළෙත් ඩිල්ෂාන්.

තිලකරත්න ඩිල්ෂාන් පිතිකරණයේ යෙදෙන මෙම පිත්ත ගැන සහ එහි සැබෑ අයිතිකරු ගැන එක්තරා සුවිශේෂී කතාන්දරයක් තිබෙනවා. අපේ රටේ ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වෙන ප්‍රවීණ ජනමාධ්‍යවේදි රංජන් පරණවිතාන අප සමඟ ඒ අපූරු පසුබිම් කතාන්දරය හෙළි කළේ මේ ආකාරයෙන්.

මේ බැට් එකේ නියම අයිතිකාරයා අපි කවුරුත් දන්න සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා.

මේ කියන අවුරුද්දේ සෙබස්තියනයිට්ස් ටීම් එක කෝච් කළේ මම. මම කළුතර විද්‍යාලයේ කෝච් කරද්දී ඩිල්ෂාන් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. පස්සේ මම සෙබස්තියන්නයිට්ස් කෝච් කරන්න ගත්තාම ඩිල්ෂානුත් සෙබස්තියන්නයිට්ස් ආවා.

ඒ කාලේ තිලකරත්න ඩිල්ෂාන් සෙබස්තියනයිට්ස් ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරු හැටියටයි. ඒ අවුරුද්දේ ඩොමෙස්ටික් ටූනමන්ට් එක පටන් ගන්න කොට ඩිල්ෂාන්ට ගහන්න හරි බැට් එකක් තිබුණේ නෑ. ඒ කාලෙ අද වගෙ ලේසියෙන් බැට් ස්පොන්සර්ලා හොයාගන්නත් බැහැ.

අරවින්ද වගේ නම ගිය අය පාකිස්තානෙන් හෝ ඉන්දියාවෙන් එයාලට වෙනම නිර්මාණය කරගත්ත කස්ටම් මේඩ් බැට් ගෙන්න ගත්තා (සාජා’හි AJ Sports හරහා).

අරවින්දට ඒ කාලෙ කුකුබුරා සමාගම එක්ක ස්පොන්සර්ෂිප් එකක් තිබුණා. ඒත් එයා කළේ අර කියපු විදියට එයා වෙනුවෙන්ම හදලවලා ගෙන්න ගන්න බැට් වලට කුකුබුරා ස්ටිකර් එක අලවලා සෙල්ලම් කරපු එක.

අරවින්දට විශේෂයෙන්ම හදපු ඒ බැට් වල බ්ලේඩ් එක තරමක් දිගයි. ටිකක්  උසයි.

ඩිල්ෂාන්ට බැට් ඕන වෙලා තියෙද්දී මම අරවින්දට කතා කරලා කිව්වා මට බැට් එකක් ඕන කියලා. එයා ඇහුවා කාටද කියලා. මම කාටද කියලා නොකියා සෙබස්තියනයිට්ස් එකේ යන්ග් ප්ලේයර් කෙනෙක්ට කිව්වා.

‘එහෙනම් රත්මලාන අපේ ගෙදරට එන්න.’ අරවින්ද එහෙම කිව්වම මම දවසක් එහෙ ගෙදර ගියා.

අරවින්දගේ කාමරේ ස්ටිකර් ගහපු නැති බැට් පෝලිමක් බිත්තියට හේත්තු කරල තිබුණා. මම ඒවැයින් එකක් තෝරගෙන ඇවිත් ඩිල්ෂාන්ට දුන්නා.

ඒ ප්‍රිමියර් සීසන් එකේ ඩිල්ෂාන් ලකුණු දාහක් ගැහුවා. කාලෙකින් ෆස්ට් ක්ලාස් ටූනමන්ට් එකක අපේ බැට්ස්මන් කෙනෙක් දාහක් ගැහුවමයි.

ඩිල්ෂාන්ට බැට් එක හොඳට අල්ලලා ගියා. ඒ නිසා එයා බයින්ඩ් එකකුත් දාගෙන දිගටම ගැහුවෙ අර බැට් එකෙන්මයි. ඔය අතරෙ එංගලන්තයට ‍යන්න තෝරගත්ත ශ්‍රී ලංකා ඒ ටීම් එකටත් ඩිල්ෂාන් තේරුණා.

බැට් එකේ උස අනුව ඩිල්ෂාන්ගේ බැටිං ස්ටාන්ස් එකත් ඒ වෙද්දී හොඳට හැඩ ගැහිලයි තිබුණේ.

එංගලන්තේ ගියාට පස්සේ අපි මුලින්ම ගැහුවෙ ඒ වන කොට එංගලන්තෙ සංචාරය කරමින් හිටි නවසීලන්ත කණ්ඩායම එක්කයි. ඩිල්ෂාන් ඒ මැච් එකේ ලකුණු 98ක් ගැහුවා. ඒ මැච් එකත් අපි දින්නා.

ඔය සංචාරයේ අනික් තරග තිබුණේ එංගලන්තේ වෙනත් ප්‍රාන්ත කණ්ඩායම් එක්කයි.

ඔය අතරෙ එංගලන්තේ ඉඳන් කතා කරලා ඩිල්ෂාන් කිව්වා මාර වැඩේනේ බැට් එක පැලුණානේ කියලා.

ඊළඟ තරගය අපිට තිබුණේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම එක්කයි. ලෙස්ටර් වල ග්‍රවුන්ඩ් එකක් තියෙන සරත් අබේසුන්දරට කතා කරල මම කිව්වා පුළුවන් නම් ඩිල්ෂාන්ට අලුත් බැට් එකක් අරන් දෙන්න කියලා.

ඒ විදියට එයා එංගලන්තයේ දී අලුත් එකක් අරන් දුන්නත් ඒක හරි ගියෙ නැහැ. අලුත් බැට් එක සෙට් සෙට් වෙන්නේ නෑ කියලා ඉතිරි මැච් ඩිල්ෂාන් ගැහුවේත් බයින්ඩ් කර ගත්තු අර පරණ බැට් එකෙන්මයි.”

අපි මේ කාලය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෑහෙන අපල කාලයක්. ඒක 1999 ලෝක කුසලානයේ අනපේක්ෂිත පරාජයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ හුඟාක් කරුණු කාරණා වෙනස් වෙමින් තිබුණ කාලයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයෙක් වෙච්ච, ලෝක කුසලානයක් පවා දිනවලා දීපු නායක අර්ජුන රණතුංගට 1999 ලෝක කුසලාන අසාර්ථකත්වයත් එක්ක තමන්ගේ නායකත්වය අහිමි වෙන්නේ මේ කාලේ.

අනාගතය වෙනුවෙන් යොවුන් ක්‍රීඩක ප්‍රතිපත්තියක් ගේන්න ඕන කියලා අපේ රටේ ක්‍රිකට් බලධාරීන් තීරණය කළා. ඒ අනුව සිදත් වෙත්තමුණි මහත්තයාගේ ප්‍රධානත්වයෙන් යුතු එවකට තේරීම් කමිටුව සනත් ජයසූරියට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයත්, මහේල ජයවර්ධනට උපනායකත්වයත් පැවරුවා.

චාමර සිල්වා, රංගන හේරත්, ඉන්දික ද සේරම් වගේ තරුණ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරටු විවර වෙන්නේ මේ කාලේ. මේ නම් අතරේ තිබුණ තව අලුත් නමක් තමයි තිලකරත්න ඩිල්ෂාන්.

ඔය එංගලන්ත සංචාරයත් නිමා කරලා ඇවිත් අනූනමය අවුරුද්දේ අග සිම්බාබ්වේ එක්ක ටෙස්ට් තරගාවලියට ඩිල්ෂාන් තෝරගත්තා.”

එහෙම ගියපු ඩිල්ෂාන් බුලෝවායෝ නුවර දී ශ්‍රී ලංකාව නියෝජනය කරපු 79 වැනි ටෙස්ට් ක්‍රීඩකයා විදියට ටෙස්ට් වරම් දිනා ගත්තා. ඩිල්ෂාන්ගේ මංගල ටෙස්ට් තරගයේ දී කැපී පෙනෙන යමක් කරන්න ලැබුණේ නම් නෑ. නමුත් දෙවැනි ටෙස්ට් තරගයට එද්දී ඒ ඔක්කොම වෙනස් වුනා.

“හරාරේ නුවර ගහපු දෙවැනි ටෙස්ට් මැච් එකේ මැදපෙළ ක්‍රීඩා කරලා ඩිල්ෂාන් ලකුණු 163ක් ගැහුවා.(ඒ නම් වෙන බැට් එකකින් මං හිතන්නේ). අපි තරගය ජය ගත්තා. තරගයේ වීරයා වුනෙත් ඩිල්ෂාන්.

අදටත් අරවින්ද දන්නෙ නෑ එයා මට දීපු බැට් එකෙන් තමයි එදා ඩිල්ෂාන් එංගලන්තේ ගිහින් හොඳට ලකුණු ගැහුවේ කියලා.

ඔය බැට් එකේ පසුබිම් කතාව ඕකයි! ඒත් මේ කතාව ඩිල්ෂාන්ට මතක ද කියන්න නම් මම දන්නේ  නෑ නෑ.!”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<