අවුරුදු දහයකට කලින් වෙච්ච දේවල් ආයේ වෙන්න බෑ!

1269

විස්සයි විස්ස තරග රටාව අද ලෝකයම ආක්‍රමණය කර අවසන්. 2022 විස්සයි විස්ස ලෝක කුසලානය තව දින කිහිපයකින් ඕස්ට්‍රේලියානු භූමියේ දී ආරම්භ වෙනවා.

ඉතින් අපි තීරණය කළා පොඩ්ඩක් මේ විස්සයි විස්ස ලෝක කුසලානයේ යටගියාව සහ හැංගිලා ගිය මතකය ආපහු අලුත් කරන්න සහ අවුස්සලා උඩට ගන්න. මේ ඒ ලිපි පෙළේ සිව්වැනි කොටසයි.

එදා ලන්ඩන් නුවරට බොහොම පැහැබර උදෑසනක්. හරියටම දිනය කිව්වොත් 2009 අවුරුද්දේ ජුනි 21. තවත් ලෝක කුසලානයක අවසන් මහා තරගයක් ඇරඹීමට සියල්ල සූදානම්. ස්ථානය ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණය.

මේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ 2009 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන්. තරග වදින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම.

එදා අවසන් මහා තරගයට එන පාකිස්තානු කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනෙක්ගේ හිතේ හොල්මන් කරපු කාරණාවක් තිබුණා.

අවුරුදු 10කට කලින් මේ ක්‍රීඩාංගණයේ දී ම වෙච්ච දේ අදත් වෙයි ද?

එදයි අදයි තරග රටාව වෙනස් තමයි. ඒත්…

මේ ක්‍රීඩකයෝ දෙන්නා තමයි ෂයිඩ් අෆ්රිඩි සහ අබ්දුල් රසාක්.

1999 අවුරුද්දේ එංගලන්තයේ තිබුණ ලෝක කුසලානය දිනාගන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම. ඔවුන් අතින් පරාජයට පත් වෙන්නේ පාකිස්තානු කණ්ඩායම. එදා පාකිස්තානු කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි ෂහිඩ් අෆ්රිඩි සහ අබ්දුල් රසාක්.

1999 ලෝක කුසලාන අවසන් මහා තරගයට එනකල් පාකිස්තානු කණ්ඩායම බොහොම දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඒත් යාන්තම් එල්ලිලා අවසන් තරගයට ආපු ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් මහා තරගයේ දී ඇඩ්‍රස් නැති වෙන්නම ගහලා එදා පාකිස්තානුවන්ව පරාජය කළා. එදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ පාකිස්තානුවන් පරදින්නේ කඩුලු අටකින්.

“අෆ්රිඩි සහ මම 1999 පරාජය වූ කණ්ඩායමේ සාමාජිකයින්. හරියටම අවුරුදු දහයකට කලින් මේ ක්‍රීඩාංගණයේ දී තමයි අපි ඕස්ට්‍රේලියාවට පැරදුණේ.”

අබ්දුල් රසාක් මීට ටික කාලෙකට කලින් මෙහෙම කිව්වේ පාකිස්තානු කණ්ඩායමේ 2009 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණයේ 13 වැනි සමරුව වෙනුවෙන් PCB Digital එක්ක කරපු විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී.

“ඒ පරාජය හැමදාම කැකෑරෙමින් අලුත් වෙමින් අපේ ඔළුවල තිබුණා. ලෝක කුසලාන පරාජයක් මිනිහෙක්ට කරන්න පුළුවන් දේ ගැන අපි හොඳටම දැනන් හිටියා. අපි දෙන්නා ඒ ගැන සෑහෙන්න කතා කළා.

එදා අවසන් තරගය දවසේ උදේ අපි දෙන්නා පොරොන්දු වුනා අවුරුදු දහයකට කලින් වෙච්ච දේ ආපහු වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා සහ අපි පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරනවා කියලා.”

ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තානු කණ්ඩායම 1992 වසරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පන්දුවාර 50 ලෝක කුසලානය ජයග්‍රහණය කළා. නමුත් ඉන් අනතුරුව ලෝක කුසලානයක පහස ලබා ගැනීමට පාකිස්තානුවන්ට හැකියාව ලැබුණේ නැහැ.

“අපේ කණ්ඩායම් සාකච්ඡාවල දී නිතරම මතක් කරපු දෙයක් තමයි අපි අවුරුදු 17කින් ලෝක කුසලානයක් දිනලා නෑ කියන කාරණාව.

අපේ නායකයා ලෙස කටයුතු කරපු යුනිස් ඛාන් සහ කළමනාකාරිත්වය නිතර නිතරම මතක් කළා රටක්, කණ්ඩායමක් විදියට කොයිතරම් ලොකු අවස්ථාවක් ද මේ අපිට උදා වෙලා තියෙන්නේ කියලා.

එංගලන්තයේ පැවැත්වෙන මේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට හැකි නම් අපිට ජාතික වීරයන්  විදියට ආපහු පාකිස්තානයට යන්න පුළුවන් කියලත් ඒත් එක්කම කියවුණා.”

2009 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් එදා පාකිස්තානු කණ්ඩායමට අත් වුනේ කඩුලු 8ක අනර්ඝ ජයග්‍රහණයක්.

ඒ වෙන තෙක් තරගාවලිය පුරාවටම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන්ගේ පිත්ත එදා ක්‍රියාත්මක වුනේ නැහැ. ඔහු පළමු පන්දුවාරයේ දී ලකුණු නොලබා දැවී ගියා.

අෆ්රිඩි සමඟ වූ පොරොන්දුව පරිදි යමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අන්ත අසරණ කරමින් අබ්දුල් රසාක් කඩුලු තුනක් දවා ගත්තා. සනත් ජයසූරිය, ජෙහාන් මුබාරක් සහ මහේල ජයවර්ධන ඒ අතර වුනා.

අබ්දුල් රසාක් අනර්ඝ පන්දු යැවීමක / Getty Images

ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත අසරණ වූ මොහොතක නායක කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා ක්‍රියාත්මක වුනා. ඔවුන් දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹයට පිං සිදුවන්නට සිය පන්දුවාර විස්ස අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් පමණයි.

පන්දුවාර විස්ස අවසානයේ එදා අබ්දුල් රසාක්ගේ පන්දු යැවීම කියවුණේ 3-0-20-3ක් ලෙසින්. අෆ්රිඩිගේ නමට ඉදිරියෙන් එක් කඩුල්ලයි. ඔහු සිය පන්දුවාර හතර ඇතුළත ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 20ක් පමණයි.

පාකිස්තානයට මේ ලකුණු සංඛ්‍යාව ලබාගැනීම කාරණා දෙකක් නිසා අපහසු වෙන්න ඉඩ තිබුණා. එකක් පාකිස්තානුවන්ගේ ක්‍රීඩා රටාවේ තිබෙන අවිනිශ්චිත බව. අනෙක ශ්‍රී ලාංකිකයින් සතුව මුත්තයියා මුරලිදරන්, ලසිත් මාලිංග සහ අජන්ත මෙන්ඩිස් යන විශිෂ්ට පන්දු යවන්නන් කිහිප දෙනෙක් සිටීම. අපි මේ කතා කරන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් උසස් දස්කම් අතර හිටපු කාලයක්.

එදා පාකිස්තානුවන්ගේ පළමු කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව කඩුල්ලට පැමිණියේ ෂහීඩ් අෆ්රිඩි. දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් පූර්ව තරගයේ දී ද නොම්මර තුන පිතිකරුවා ලෙස පැමිණ අෆ්රිඩි පන්දු 34කින් ලකුණු 51ක් රැස් කළා.

අෆ්රිඩි කඩුල්ලට පැමිණීම දෙයාකාරයකින් බලපාන්න පුළුවන්. වේගවත් ඉනිමක් හෝ ඉක්මනින් දැවී යෑමක් අෆ්රිඩි වැන්නෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල්.

නමුත් එදා අෆ්රිඩි කෙදිනකවත් දැක නැති අන්දමේ ඉවසීමකින් සහ පරිණත බවකින් පන්දුවට පහර දුන්නේ. පන්දුවාර 18.4කදී පාකිස්තානුවන් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉක්මවා යන විට අෆ්රිඩිගේ නමට ඉදිරියෙන් ලකුණු 54ක් ලියවී තිබුණා. ඔහු ඒ වෙනුවෙන් පන්දු 40කට මුහුණ දුන්නා.

ජයග්‍රහණයෙන් අනතුරුව ෂහීඩ් අෆ්රිඩි / Getty Images

“මේ ජයග්‍රහණයෙන් පස්සේ අපි පාකිස්තානයේ ආපනශාලාවකට ගියත් බඩු ගන්න සුපර්මාර්කට් එකකට ගියත් අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අපිට සල්ලි ගෙවන්න කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඔවුන් කිව්වේ සල්ලි එපා ඔබලා මේ රටට අරන් ආපු සතුටට හොඳටම ඇති කියලා.”

2009 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය පාකිස්තානයේ කුඩා දරුවන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගත් බව රසාක් මේ සාකච්ඡාව අතරවාරයේ කිව්වා.

“කිසිම සැකයක් නැහැ මේක තමයි මගේ ක්‍රිකට් ජීවිතයේ වටිනාම අවස්ථාව.

ලෝක කුසලානයක් තමන්ගේ රටට දිනා දීම ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ සිහිනයක්. ඒ වගේම ආඩම්බරයක්. 2009 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය මගේ ක්‍රිකට් ජීවිතයේ එවන් අවස්ථාවක්.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<