මධ්‍යම පන්තියෙන් පැන ගිය ඉංජිනේරු පුතා

498
Indian Express

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ නොදියුණු ප්‍රදේශයකි. ඒ පල්වාල් නගරයයි. එහෙත් ඔබ එහි ගොස් ඕනෑම කෙනෙකුගෙන් “ෂාබාස් අහමඩ්ගේ නිවස කුමක්දැ”යි ඇසුවහොත් ලැබෙන පිළිතුර විස්තරාත්මක එකකි.

ආ අර RCB ක්‍රිකටර් නේද? එයාගෙ ගෙදර දෙවැනි තට්ටුව නම් මාරයි. ඔයාට දුර ඉඳන්ම අඳුරගන්න පුළුවන් වෙයි.”, පිළිතුර එවැන්නකි. බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ ජනප්‍රිය 11 දෙනෙකු අතරට ඇතුළත් වීමට Shahbaz Ahmed (ෂාබාස් අහමඩ්) පසුගිය දා සමත් විය. ඒ ඉන්දියා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායමට ඇතුළත් වෙමිනි.

ඔහුගේ නිවසේ අලංකාරත්වයට වඩා එය ඒ ප්‍රදේශයේ ළමා වීදි ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දෙන මානසික තල්ලුව විශේෂ එකකි. ඔවුන් ක්‍රීඩා කරන ආකාරයටම වීදියේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි ෂාබාස්, Royal Challengers Bangalore (RCB) කණ්ඩායමට තේරී පත්වූ අතර මේ වන විට ඉන්දියානු ජාතික කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

Indian Express
ෂාබාස්ගේ නිවස

ෂාබාස්ගේ නිවසේ දෙවැනි මහල පහසුකම් රැසකින් සමන්විත බව සැබෑවකි. ෂාබාස්ගේ පියා, අහමඩ් ජාන්, කලාපයේ සෑම මධ්‍යම පාන්තික පියෙකු මෙන්ම ඒ ගැන ආඩම්බරයෙන් කතා කරයි.

මම ෂාබාස්ගෙන් නම් පැන්සයක්වත් අරගෙන නෑ. මම හර්යානා රජයේ සේවකයෙක්. මගේ පඩිය හොඳයි. මට මේ පහසුකම් ඔක්කොම දරාගන්න පුළුවන්.”, ඔහු කියයි.

එයා එයාගේ IPL සල්ලි වලින් කාරෙකක් ගත්තා. ඒත් ට්‍රැෆික් වැඩි හින්දා ඒක පදින්න බෑ.”, ජාන් කියයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට  ක්‍රීඩා කිරීම වෙනුවෙන් ෂාබාස් හට ලැබුණු මුදල ඉන්දියානු රුපියල් කෝටි 2.4කි.

මේ සියල්ල අතරේ මධ්‍යම පාන්තික ජාන් කනගාටු වන එක් කරුණක් ඇත.

හැම මධ්‍යම පාන්තික පවුලක්ම වගේ අපිත් ක්‍රිකට් නරඹන්න කැමතියි. මමත් කොලේජ් යනකම් ක්‍රීඩා කළා. ඒත් අපේ පළවෙනි දේ වෙන්නේ අධ්‍යාපනය. මගේ පියා මොහොමඩ් ඉෂාක් මුල් ගුරුවරයෙක්. මම රජයේ සේවකයෙක්. මගේ මල්ලි ගුරුවරයෙක්. මගේ දුව වෛද්‍යවරියක්. ෂාබාස් කියන්නෙත් දක්ෂ ශිෂ්‍යයෙක්.”

පාසල් යන සමයේ දී ෂාබාස් පන්තියෙන් පැනගොස් ක්‍රිකට් ක්‍රීඩා කළේය. ඇතැම් කාලවල දී පාසලෙන් නිවසට ලිඛිතව ඒ බව දැනුම් දුන් අවස්ථා ද තිබුණි. එහෙත් ඔහු දක්ෂ සිසුවෙකි. පන්තියෙහි නොසිටිය ද අධ්‍යාපනය සඳහා අවශ්‍ය බුද්ධිය සහ සිතීමේ ශක්තිය ඔහු සතු විය. එබැවින් පාසල් කාලය සාර්ථකව අවසන් විය.

ෂාබාස් ක්‍රිකට් ක්‍රීඩාවට පූර්ණ අවධානය යොමුකරන්නට පෙර ඉංජිනේරු ශිෂ්‍යයෙකි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට පෙලඹුණු ඔහු අධ්‍යාපනය පසෙක ලා ක්‍රිකට් වැළඳගත්තේය. ඉන් සිදු වූ නරකක් නම් නැත. මේ වන විට ඔහු කෝටිපතියෙකි. එහෙත් මධ්‍යම පාන්තික පවුල් පසුබිමකින් නිර්මාණය වූ ඔහුට අධ්‍යාපනය අත්හැරි බවට මියෙන තෙක්ම චෝදනා එල්ල වනු ඇත.

මොන තාත්තටවත් ඕන නෑ එයාගේ පුතා අධ්‍යාපනය අතෑරලා ක්‍රිකට් ගහනවා බලන්න.”, ෂාබාස්ගේ පියා ජාන්, ඒ ගැන තදින් කතා කරයි.

එයා (පියා) තාම ඉන්නේ 2015. මට ඕන වුනේ එයා ඉංජිනේරු උපාධිය ඉවර කරලා, හොඳ රස්සාවක් කරන්න. ඒත් සමහර වෙලාවල් වලදී ඔබ දරුවන් කියන දේටත් ඇහුම්කන් දෙන්න ඕන. ඒගොල්ලන්ට ජීවිතෙන් මොනවද ඕන කියලා.”, ෂාබාස්ගේ මව, අබ්නම් නම් පවසන්නේ එවැන්නකි.

මට ඕන වුනේ එයාට කුසලාන තියන්න පොඩි කාමරයක් හදලා දෙන්න. ඒත් එයාගේ අම්මටයි අක්කටයි පොඩ්ඩක් ෂෝ එක දාන්න ඕන.”, ජාන් කියයි.

ෂාබාස් මාස ගණනාවක්ම උසස් විද්‍යාලයේ පන්ති වලට සහභාගී නොවූ බවට ලිපියක් ලැබුණු දිනය ඔහුගේ දෙමාපියන්ට අමතක නොවන්නකි. ඔවුන් කලබල වී පාසල බලා ගියත් ෂාබාස් මාස ගණනාවක්ම පන්ති නොයාමට හේතුව වී තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවයි.

ඒක තමයි එයා ක්‍රිකට් වලට ආදරෙයි කියලා අපි දැනගත්තු පළවෙනි දවස. හර්යානා ප්‍රාන්තයේ 19න් පහළ කඳවුරේත් එයා හිටියා”, ජාන් සිහිකරයි.

එහෙත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අත්හැර දමා කල්කටා වෙත ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ෂාබාස් තීරණය කිරීමත් සමඟ පවුලේ මධ්‍යම පාන්තික සිහින බිඳ වැටිණි.

එයාට අධිෂ්ඨානයක් තිබුණා ලොකු දෙයක් කරන්න. එයාගේ මහාචාර්යවරුත් කිව්වා ඒක ලොකු වරදක් කියලා, මොකද එයා දක්ෂ ශිෂ්‍යයෙක්. ෂාබාස් එයාගේ අංශාධිපතිවරයාට කිව්වා, ‘දවසක ඔබතුමා මට උපාධිය දීලා මට සතුටත් පළකරයි”, කියලා. අන්තිම අවුරුද්දේ ඒක වුනා., ඒ ඔහුගේ මවයි.

කල්කටා නුවරට ගොස් අඩි 12×12 කාමරයක ජීවත් වීමට ෂාබාස් හට සිදු විය.

එයා උයන්න දන්නෙ නෑ. ඒ හින්දා භාජන හෝදන එක තමයි එයාගේ රාජකාරිය වුනේ” ජාන් සිනාසෙයි.

කල්කටා නුවරදී ඔහුට ක්‍රිකට් තහනමක් පවා පැනවිණි. ඒ කාලයේ දී ඔහුව දිරිමත් කළේ කල්කටා බලා යන්නට පෙර ඔහුගේ තද මනසැති පියා විසින් ඔහුට ලබා දුන් අවවාදයයි.

ජීවිතෙන් වැඩක් ගනින්. උඹගේ අතේ ලොකු කාලයක් නෑ”, එය සියලු අපහසුකම් මැද ෂාබාස්ව දිරිමත් කළේය.

පසුව බෙංගාල් ක්‍රිකට් සංගමය විසින් පැවැත්වූ පර්යේෂණයකින් අනතුරුව ඔහුගේ තහනම ඉවත් කළ අතර දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට උදා විය. ඒ කාලයේ දී ඔහුගේ ක්‍රිකට් සගයෙකු වූ ප්‍රමෝද් චන්දිලා විසින් ඔහුව ප්‍රතීම් චවුදරී නම් පුහුණුකරුට හඳුන්වා දුන්නේය. ෂාබාස්ගේ දස්කම් දැක ඔහුව පවුලේ සාමාජිකයෙකු මෙන් සමීප කරගන්නට චවුදරී උත්සුක විය.

ප්‍රතීම් සර් නම් දේවදූතයෙක්. මේ කාලේ දී ආගන්තුකයෙකුට වහලක් දෙන එක… සර් ෂාබාස්ව එයාගෙම පුතෙක් වගේ බලාගත්තා. මගේ අප්‍රමාණ යාච්ඤාත් මදි ඔහුට.”, ෂාබාස්ගේ මව, අබ්නම් කියයි.

ඒ වන විට බෙංගාලි කණ්ඩායමේ නායක මනෝජ් තිවාරි ෂාබාස්ව දුටුවේය. එහෙත් ඔහුගේ උපන් බිම බෙංගාලය නොවන බැවින් ඔහුව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට බාධා බොහෝ විය. එහෙත් ඔහුව කණ්ඩායමට ඇතුළත් කරගැනීමට තිවාරි සමත් විය.

RCB
ෂාබාස් අහමඩ්, දේශීය ක්‍රිකට් වලදී

ඒ වන විට බෙංගාල කණ්ඩායමේ පුහුණුකරු අරුන් ලාල් විසින් ෂාබාස්ව හැඳින්වුණේ “ජාන්බාස්” (කිසිවෙකුට බිය නොමැත්තා) ලෙසිනි. කණ්ඩායම අසරණ යැයි හැඟුණු සෑම මොහොතක දී ම ෂාබාස් අත ඔසවා කණ්ඩායම වෙනුවෙන් විශේෂ දෑ කළේය.

2019/20 රන්ජි කුසලාන තරගාවලියේ දී බෙංගාල කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට ෂාබාස්ගෙන් සිදු වූ සේවය මහත් ය. පිත්තෙන් ලකුණු 509කුත් පන්දු යැවීමෙන් කඩුලු 35කුත් ලබා ගැනීමට ඔහු සමත් විය.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් ක්‍රීඩා කළ වසර තුනක කාලය තුළ දී ඔහු විසින් කණ්ඩායමේ වැදගත් ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනා ගත්තේ ලොව වටා ප්‍රේක්ෂකයන් අතර මතක හිටින චරිතයක් වෙමිනි.

දැන් ඔහු ඉන්දියානු ජාතික කණ්ඩායමට පැමිණ ඇත. මේ ගමන අලුත් එකකි. විමසිල්ලෙන් යා යුතුය.

ප්‍රතීම් සර්ගෙන් එයාට තාත්තා කෙනෙක් ලැබුණා, මනෝජ් තිවාරිගෙන් අයියෙක් ලැබුණා, අරුන් ලාල්ගෙන් උපදේශකයෙක් ලැබුණා. මම තාමත් ඒ කාවවත් හමුවෙලා නැහැ. ඒත් මේ අවුරුද්ද අවසානයේ කල්කටා ගිහින් එයාලට කෘතගුණ දක්වන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.”, ෂාබාස්ගේ මව සංවේදී ය.

ෂාබාස් ඔය මට්ටමට ආවේ ඔවුන් නිසයි. මම ඒ හැමෝටම බිරියානි හදලා දෙනවා.”, ෂාබාස්ගේ මව, අබ්නම් එසේ කියයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<