T20 ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන මතක!

591

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹීමට තවත් සතියකටත් වඩා අඩු කාලයක් පවතින වටපිටාවක, මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂීතම අවස්ථා කිහිපයක් පිළිබඳ නැවත හැරී බලමු.

‘Carlos Brathwaite’ නම මතක තියාගන්න!

හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සහ වත්මන් විස්තර විචාරක Ian Bishop විසින් විස්තර විචාරක කුටිය දෙවනත් කරමින්  “Carlos Brathwaite, Remember the Name!” කියලා කෑගසන්නේ 2016 ලෝක කුසලානයේ එංගලන්තයට එරෙහි අවසාන මහා තරගයේ ජය ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් පන්දු හය තුල ලකුණු 19ක් අවශ්‍යව තිබූ මොහොතක Carlos Brathwaite විසින් පිට පිට එල්ල කළ හයේ පහර හතරේ අමතක නොවන මතකය නිසාවෙනුයි.

ඉන්දියාවේ කොල්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලැබූ ජයග්‍රහණයත් සමඟින් දෙවැනි වරටත් විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස බටහිර ඉන්දීය කොදෙව්වන් කිරුළු දැරීමට සමත් වෙනවා.

පළමු වරට පැවති විස්සයි විස්ස ලෝක ශූරතාවය හිමි කර ගත් ඉන්දියාව

ක්‍රිකට් පිටියේ සදාකාලික එදිරිවාදීන් වන ඉන්දියාව සහ පකිස්තානය එකිනෙකාට විරුද්ධව අවසන් මහා තරගයක් ක්‍රීඩා කිරීමේ අනගි අවස්ථාව නැරඹීමට වරම් ලබා දෙමින් පැවැත්වුණු 2007 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය සමඟින් තරගාවලිය ජය ගත්තේ ඉන්දියානු කණ්ඩායමයි.

තරගයේ අවසන් පන්දු වාරයේ දී එක් කඩුල්ලක් අතැතිව ලකුණු 13ක් ලබා ගැනීමේ ඉලක්කයට, එම පන්දු වාරයේ දෙවැනි පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් සාර්ථක  ආරම්භයක් දුන් පාකිස්තාන ක්‍රීඩක Misbah-ul-Haqව ඊළඟ පන්දුවෙන් දවා ගන්නට Joginder Sharma සමත් වුනේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනපේක්ෂිත බව නැවතත් ලොවටම පසක් කරමිනුයි.

රංගන හේරත්ගේ දඟපන්දු ඉදිරියේ ඇඹරුණු නවසීලන්තය

2014 විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කිරීමට ප්‍රධානතම හේතුවක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි.

අවසන් පූර්ව වටයට තේරී පත් වීමට නියත ජයක් අවශ්‍යව තිබූ මොහොතක විස්සයි විස්ස ඉතිහාසයේ කණ්ඩායමක් විසින් දියත් කළ හොඳම පන්දු යැවීමකට නායකත්වය දෙමින් පන්දුවාර 3.2ක් තුල ලකුණු තුනක් පමණක් ලබා දෙමින් කඩුලු පහක් බිඳ හෙළීමට රංගන හේරත් විසින් සමත් වුනා.

Yuvraj Singh පිටිය පුරාවට එල්ල කළ හයේ පහර හය

2007 ලෝක කුසලානයේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයේ දී එංගලන්ත වේගපන්දු යවන Stuart Broad විසින් යවන ලද 19 වැනි පන්දුවාරයේ දී ක්‍රීඩා පිටිය පුරාවටම පහර එල්ල කරමින් හයේ පහර හයක් එල්ල කිරීමට Yuvraj Singh විසින් සමත් වන්නේ පන්දු දොළහක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය ද ලබා ගන්නා අතරේ දීයී.

ක්‍රිකට් මහ ගෙදර දී ම එංගලන්තය ලැබූ අවමන් සහගත පරාජය

2009 ලෝක කුසලානයේ ආරම්භක තරගය පැවැත්වුණේ එංගලන්තය සහ නෙදර්ලන්තය අතර, ක්‍රිකට් මහ ගෙදර ලෙස හැඳින්වෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී. එම තරගයේ දී එංගලන්තය ලබා දුන් ලකුණු 163ක ඉලක්කය නෙදර්ලන්තය විසින් හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ තරගයේ අවසන් පන්දුවෙන් නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු දෙකක් ලබා ගත යුතුව තිබූ අතර, Stuart Broad විසින් දුවද්දී දැවී යාමක් ලබා ගැනීමට කඩුල්ල වෙත එල්ල කළ පන්දුව කඩුල්ලේ නොවැදී ඇදී යාමත් සමඟින් නෙදර්ලන්තය පහසුවෙන් ජයග්‍රාහී කඩඉම පසු කිරීමට සමත් වුනා.

පාකිස්තානයේ ලෝක කුසලාන සිහිනය හැබෑ කළ Shahid Afridi

නොකඩවා දෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයක් වෙත පිවිසෙන්නට 2009 දී පාකිස්තානය සමත් වූ අතර එවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ශ්‍රී ලංකාවයි.

එංගලන්තයේ ලෝඩ්ස් හීදී පැවති මෙම තරගයෙන් කඩුලු අටක ජයක් පාකිස්තානය වෙත ළඟා කර දීමට වඩාත්ම ඉවහල් වුනේ Shahid Afridi විසින් රැස් කළ අර්ධ ශතකය බව නොරහසක්.

ගුවනේ පියඹා ගොස් හයේ පහර වැළැක්වූ ඇන්ජලෝ මැතිව්ස්

2009 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරගයේ දී අජන්ත මෙන්ඩිස් විසින් යොමු කළ පන්දුවකට, Ramnaresh Sarwan විසින් එල්ල කළ පහරක් මැතිව්ස්ගේ ඉක්මන් මෙන්ම බුද්ධිමත් සිතිවිලි වල පිහිටෙන් හයේ පහරක් වීම වළක්වා ගැනීමට සමත් වුනා.

මෙහි දී ගුවනේ ඇදී ආ පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට මැතිව්ස් සමත් වූවත්, තම සමබරතාවය ගිලිහීමෙන් තමා හතරේ සීමා ඉර ඉක්මවා යන බව දැන ගත් පසු නැවත පන්දුව ගුවනට විසි කරමින් හතරේ සීමාවෙන් පිටට ගිය අතර, නැවත වරක් උඩ පනිමින් ගුවනේ තිබූ පන්දුව හතරේ සීමාවෙන් එළියට යා නොදී ක්‍රීඩා පිටිය දෙසට යොමු කිරීමට මැතිව්ස් මෙහි දී සමත් වුනා.

තරගයේ විනිසුරුවන් විසින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය නීත්‍යනුකූල බවට තීරණයක කළ අතර, ක්‍රිකට් නීති සම්පාදනය කරන MCCය විසින් ද එම තීරණය නිවැරදි බවට සහය පළ කර සිටියා.

Shaheen Afridiට යන එන මං නැති කළ Matthew Wade

2021 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගයක් ලෙස පැවති ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූ අතර, පසුව නවසීලන්තය පරාජය කරමින් ලෝක කුසලානය ජය ගැනීමට ද ඔවුන් සමත් වුනා.

මෙම අවසන් පූර්ව වටයේ තරගයෙන් ජයග්‍රහණය කිරීමේ පකිස්තානය සිහිනය සම්පූර්ණයෙන්ම විනාස වුනේ Matthew Wade විසින් Shaheen Afridi ගේ 19 වැනි පන්දුවාරයේ පිට පිටම එල්ල කළ හයේ පහර තුනත් සමඟිනුයි.

ඉන්දියාවට ජය ගෙන දුන් අමුතු විදිහේ Bowl-Out

2007 ලෝක කුසලානයේ දී ම ඉන්දියාව සහ පකිස්තානය හමු වූ තරගයක දී ලකුණු සම වීම නිසා තරගයේ ජයග්‍රාහකයින් තේරීම සඳහා පන්දුව පිතිකරුවෙකු රහිත කඩුල්ලකට යොමු කරමින් (Bowl-Out) අවස්ථා පහක දී වැඩිම වාර ගණනක් කඩුල්ල බිඳ හෙළන කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට තීරණය කළා.

එහි දී ඉන්දියාව වෙනුවෙන් Robin Uthappa, Virender Sehwag සහ Harbhajan Singh කඩුල්ලට පන්දුව යොමු කිරීමට සමත් වූ අතර, පකිස්තානය වෙනුවෙන් කිසිවකු හෝ සාර්ථක වීමට අසමත් වුනා. එම නිසා තරගයේ ජය ඉන්දියාවට හිමි වුනා.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ලබා ගැනීමට තිසර එල්ල කළ හයේ පහර තුන

තෙවැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසෙන ශ්‍රී ලංකාවේ පළමු ලෝක ශූරතාවය ඉන්දියාවට එරෙහිව හිමි කර ගැනීමේ සටනේ දී පන්දු 14කින් ලකුණු 23ක් රැස් කළ තිසර පෙරේරාගේ ඉනිම අමතක කළ නොහැකි එකක්. එහි දී ඔහු ජයග්‍රාහී ලකුණු රැස් කිරීමට එල්ල කර හයේ පහර ද ඇතුළුව එම ඉනිමේ දී හයේ පහර තුනක් එල්ල කිරීමට සමත් වුනා.

අවසන් මහා තරග පරාජය වීමේ ශාපයකින් වෙලී සිටි ශ්‍රී ලංකාව මෙම ලෝක කුසලානය ජයග්‍රහණය කළේ 2007 සිට ලෝක කුසලාන අවසන් මහා තරග හතරක් පරාජය වීමෙන් අනතුරුවයි.

ඉන්දියාවට Shaheen Afridi ගැන බිහිසුණු මතකයක් එක් කළ රැය

2021 ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයක දී ඉනිම ආරම්භ කරමින් පන්දු යැවූ Shaheen Afridi ගේ පන්දු ඉන්දීය පිතිකරුවන්ට බිහිසුණු සිහිනයක් බඳු වූ බව නොඅනුමානයි.

Rohit Sharma,KL Rahul සහ Virat Kohli යන පිතිකරුවන් තිදෙනාම Afridiගේ පන්දු කරණය ඉදිරියේ අසරණව දැවී ගියා. එම තරගයෙන් පාකිස්තානය කඩුලු දහයක ඓතිහාසික ජයක් ලැබීමට ද සමත් වුනා.

බංගලිදේශයට කොකා පෙන්වූ Dhoniගේ මැජික්

2016 ලෝක කුසලානයේ දී ඉන්දියාවට එරෙහිව නියත ජයක් හඹා යමින් සිටි බංග්ලාදේශයට අවසන් පන්දුවාරයේ අවසන් පන්දු තුනට ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු දෙකක් පමණක් වුවත්, එම පන්දු තුන තුල දී කිසිදු ලකුණක් ලබා නොගත් ඔවුන් ඉන්දියාවට කඩුලු තුනක් සමගින් තරගයේ ජයග්‍රහණයත් පූජා කළා.

එහි දී අවසන් පන්දුවට ලකුණක් ලබා ගැනීමට දිව ගිය බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී ගියේ MS Dhoni ගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේයි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව දියත් වූ Kohliගේ ක්ලාසි ඉනිම

2016 ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයක දී ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ Virat Kohli පන්දු 51ක් පමණක් වැය කරමින් ලකුණු 82ක් ලබා ගැනීමට සමත් වුනා.

පාකිස්තානයේ ජය උදුරා ගත් Michael Hussey

2010 ලෝක කුසලානයේ දී පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අවසන් පුර්ව වටයේ තරගයක දී ඕස්ට්‍රේලියාවට නොතිබූ ජයක් ගෙන දීමට Michael Hussey සමත් වන්නේ පන්දු 23කින් ලකුණු 60ක් ලබා ගනිමිනුයි.

Hussey ඉනිමේ හත් වැනි පිතිකරු ලෙස පිටියට පිවිසෙන විට පන්දු 45කින් ලකුණු 87ක් රැස් කළ යුතුව තිබුණු මොහොතක වන අතර ඔහු විසින් උදුරා ගත්තේ පිට පිටම තෙවැනි වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයට පිවිසීමට පාකිස්තානය උරගා බලමින් තිබූ අවස්ථාවයි.

Mohammad Amirගේ  W,W,W,W,0,W

2010 ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානයේ Mohammad Amir විසින් විස්සයි විස්ස තරග ඉතිහාසයේ  එතෙක් මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ විශිෂ්ටතම පන්දුවාරයක් යවනු ලැබුවා.

එවකට 18 වැනි වියේ පසු වූ Amir විසින් ඕස්ට්‍රේලියානු ඉනිමේ විසිවැනි පන්දු වාරය යවන්නේ කඩුලු පහක් බිඳ වට්ටවමිනුයි.

එහි දී Amir විසින් කඩුලු තුනක් දවා ගනිද්දී, දුවද්දී දැවී යාම් දෙකක් වාර්තා වුනා.

ශ්‍රී ලාංකිකයින්ගේ ඇස් කඳුළින් තෙත් කළ Gangnam Style

වසර 33 ලෝක කුසලාන නියඟය නිමා කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් තවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්නේ 2012 වර්ෂයේ දීයි.

ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ගේ දෑස් කඳුළින් තෙත් කරමින් එදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සැණකෙළි ස්වරූපයක් ගත්තේ කොරියානු ගායක PSY විසින් හඳුන්වා දුන් Gangnam Style නර්තන ශෛලිය අනුගමනය කරමින් බටහිර ඉන්දීය කොදෙව්වන් දැක්වූ ජයග්‍රහණ සැමරුම් වලිනුයි.

නුදුරේ දී ම ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ICC සහ Wisden නිල වෙබ් පිටු ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<