හිසට සිදු වූ ආබාධ ගැන හිටපු රග්බි ශූරයෝ නඩු කියයි

487
Steve Thompson

ලෝක ශූර  Steve Thompson හා තවත් හිටපු රග්බි ක්‍රීඩකයින් හත්දෙනෙක් නඩු මගට පිවිසීමට සූදානම් වෙනවා. ඒ රග්බි ක්‍රීඩාවේ නිරත වීම නිසා තමන්ගේ දිර්ඝ කාලීන මොළයේ ආබාධ ඇතිවූ බව පවසමින්. ඔවුන් නඩු මගට පිවිසීමට පිවිසීමට සූදානම් වන්නේ රග්බි ක්‍රීඩාවේ බලධාරීන්ට එරෙහිවයි.

මේ ක්‍රීඩකයින් සියලු දෙනාම dementia රෝග ලක්ෂණවලින් පෙළෙන අතර ඒ රග්බි ක්‍රීඩා කරන අතරතුර ඔවුන්ගේ හිසට සිදු වූ බලපෑම් නිසා බව සඳහන්.

එංගලන්තය වෙනුවෙන් 2003 රග්බි ලෝක කුසලානය දිනූ Thompson මේ පිළිබඳ මෙසේ අදහස් දක්වා සිටියා. “මට ඒ තරග කිසිවක් මතක නැහැ. ඒකට ගොඩක් බය හිතෙනවා” Thompson මේ වන විට 42 වැනි වියෙහි පසුවෙනවා.  

මේ ක්‍රීඩකයින් එංගලන්ත හා වේල්ස් රග්බි ආයතනවලින් හා ලෝක රග්බි ආයතනයෙන් පවුම් මිලියන ගණනක වන්දි මුදලක් ඉල්ලීමට සූදානම් වන බව BBC පුවත් සේවය වාර්තා කර තිබුණා.

මෙවැනි සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම නීතිමය ක්‍රියාමාර්ග සාර්ථක වුවහොත් රග්බි ක්‍රීඩාව ක්‍රීඩා කරන ආකාරය වෙනස් වීමට ද යම් ඉඩක් පවතිනවා.

මොළයට සිදු වූ හානි නිසා මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන වයස අවුරුදු 25ත් 55ත් අතර තවත් හිටපු ක්‍රීඩකයින් 80ක් පමණ මෙම නඩු ක්‍රියාමාර්ගයට සම්බන්ධ කර ගන්නට පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥයින් සූදානම් වෙනවා.

තවත් රග්බි පුවත්:

ලෝක රග්බි ආයතනය මේ පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා. “අපි දැන්ම මේ පිළිබඳව අදහස් දක්වන්න හදිස්සි වෙන්නේ නැහැ. ලෝක රග්බි ආයතනය ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.”

එංගලන්තයේ රග්බි ක්‍රීඩාව පිළිබඳව වගකියන The Rugby Football Union ආයතනය පවසා සිටියේ ඔවුන්ට තවමත් මේ පිළිබඳව නිත්‍යානුකූල ලෙස දන්වා නොමැති බවයි. 

හුකර් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළ Thompson Northampton Saints වෙනුවෙන් තරග 195ක් ක්‍රීඩා කර ඇති අතර පසුව ප්‍රංශයේ Brive කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එංගලන්තය වෙනුවෙන් තරග 73ක් ද, British and Irish Lions වෙනුවෙන් තරග තුනක් ද ක්‍රීඩා කර ඇත්තේ 9 වසරක ජාත්‍යන්තර අත්දැකීම් තමන්ගේ නමට ලියා ගනිමිනුයි.  

ඔහු 2007 වසරේ දී බෙල්ලේ ආබාධයක් නිසා පළමු වතාවට විශ්‍රාම ගත් නමුත් ඔහුට නැවත ක්‍රීඩා කරන්නට හැකි බව වෛද්‍යවරුන් පවසා තිබුණා. එම ආබාධයම නැවත මතු වීම නිසා 2011 දෙසැම්බර් මාසයේ දී ඔහු ක්‍රීඩාවට සමු දුන්නා.

Thompsonගේ හිටපු සගයෙක් වන Michael Lipman, වේල්ස් ක්‍රීඩක Alix Popham හා තවත් ක්‍රීඩකයින් පස් දෙනෙක් පරීක්ෂණවලින් අනතුරුව නඩු මගට පිවිසෙන්නට සූදානම් වෙනවා.  

Thompson පවසා සිටින්නේ රග්බි තරග හා පුහුණුවීම් අතරතුර හිසට එල්ල වන දරුණු පහරවල් නිසා මේ තත්වයන් ඇතිවූ බවයි.

“1990 දශකයේ අපි පුහුණුවීම් ගියාම, පුහුණුවීම් සැසි ඉක්මනින් ක්‍රීඩකයින් ගැටෙන (full contact) පුහුණු සැසි බවට පත් වුනා.”

“එක සැසියක් තිබුණා scrums අවස්ථා හරියට සිදු නොවුනු නිසා ඔවුන් අපිට scrum අවස්ථා 100ක් කරන්න යැයි බලකරපු. ඒ සැසි ඉවරවෙද්දී අපිට නිකම් මස් ගොඩක් වගේ තමයි සැලකුවේ.”

“අපි මේ දෙය කරන්නේ යොවුන් ක්‍රීඩකයින්ට ඉදිරියේ දී හානියක් නොවෙන්නයි. මට රග්බි නවත්වන්න අවශ්‍යතාවක් නැහැ. රග්බි ක්‍රීඩාව අපිට ගොඩක් දේවල් දීලා තිබෙනවා. නමුත් අපිට ඕනේ ඒක තවත් ආරක්‍ෂිත කරන්න. මොකද ඔබට ජීවිතය වටිනවා ගොඩක්.”

BBC ඇසුරින්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<