200m වාර්තාව සුළු මොහොතකට අලුත් වෙයි

235

Zurich Inspiration Games හී ඊයේ (09) පැවති මීටර් 200m පිරිමි තරගය සඳහා සහභාගී වූ ඇමරිකානු ක්‍රීඩක Noah Lyles එම ඉසව්ව තත්පර 18.90ක කාලයකින් අවසන් කිරීමට සමත් විය.

බ්‍රිතාන්‍ය ශූරියගෙන් පොලිසියට වර්ගවාදී චෝදනා

එම කාලය 200m තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු තත්පර 19.00කට අඩු කාලයකින් තරගය නිමා කළ ප්‍රථම අවස්ථාව වූ අතර Usain Bolt (තත් 19.19) විසින් එම ඉසව්වට පිහිටුවා තිබූ ලෝක වාර්තාව ද අභිබවා යන කාලයක් විය.

කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ ඔහු වැරදි ධාවන තීරුවක ධාවනයේ යෙදී ඇති බවත්, එම ධාවන තීරුවට අනුව ඔහු සම්පූර්ණ කර ඇත්තේ මීටර් 185ක දුරක් පමණක් බව ලෝක මලල ක්‍රීඩා සංගමයේ වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබුණි.

එම සිදුවීම නිසාවෙන් ඔහුට තරගයේ පළමු ස්ථානයේ සිට තුන්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු වූ අතර Lemaitre Christophe හට පළමු ස්ථානයත්, Martina Churandy හට දෙවන ස්ථානයත් හිමි විය.

තවද මෙම තරගාවලියේ පැවති කාන්තා මීටර් 150 තරගයේ දී ඇමරිකානු කෙටි දුර ධාවන ශූරී Allyson Felix විසින් 400m ඔලිම්පික් පදක්කම්ලාභී Shaunae Miller-Uibo සහ පසුගිය වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 තරගයේ ලෝකඩ පදක්කම දිනූ Mujinga Kambundji පරදවමින් ජයග්‍රහණය කිරීම ද කැපී පෙනුනි.

ක්‍රීඩකයන්ට තරගාවලිය සඳහා සහභාගි වීමට ඇති යම් යම් බාධා හේතුවෙන් ස්ථාන කිහිපයක දී තරග ඉසව් පැවති අතර එක් එක් ක්‍රීඩකයන් තමන්ගේ මව් රට තුළ දී එකම වේලාවක දී තනිව තරග වදිමින් මෙම තරගයට සහභාගි විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<