Greys ක්‍රීඩිකාවෝ Reds ක්‍රීඩිකාවන්ට එකට එක කරයි

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

161
Women’s Super Four T20 Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ කාන්තා සුපිරි කණ්ඩායම් 4 සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ දී අහිමි වූ කුසලානය, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී දිනා ගැනීමට Greys ක්‍රීඩිකාවෝ අද (11) සමත් වුනා.

මීට පෙර මෙම කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර පැවති සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ දී ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මෙම කණ්ඩායම් දෙක ම වූ අතර එහි දී Reds ක්‍රීඩිකාවෝ තරගාවලියේ ශූරතාව දිනා ගනිද්දී මෙවර ජයග්‍රාහී Greys ක්‍රීඩිකාවන්ට සිදු වූයේ එහි අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමටයි.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ අවසන් මහා තරගයේ දී Greys ක්‍රීඩිකාවෝ Reds ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් මෙවර සව්දිය පිරීමට සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Reds ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 91ක් ලබා ගත් අතර Greys ක්‍රීඩිකාවෝ එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී, තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ලකුණු 94ක් ලබා ගනිමින් සපුරා ගත්තා.

  • Greys කණ්ඩායම: හර්ෂිතා සමරවික්‍රම (නායකාව), ඉමල්කා මෙන්ඩිස්, විශ්මි ගුණරත්න, හංසිමා කරුණාරත්න, කෞෂිනී නුත්‍යංගා (කඩුලු රකින්නිය), ඉනෝෂි ප්‍රනාන්දු, නිලක්ෂනා සඳමිනි, සුලේෂා සත්සරණි, අචිනි කුලසූරිය, තරුෂි රාජකරුණා, මල්ෂා රණතුංග
  • Reds කණ්ඩායම: නිලක්ෂි ද සිල්වා (නායිකාව), ප්‍රසාදනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), නෙත්මි සේනාරත්න, දුලන්සා නානායක්කාර, සචිනි නිසංසලා, මල්ෂා ෂෙහානි, මධුශිකා මෙත්තානන්ද, තාරිකා සෙව්වන්දි, සඳුනි සිල්වා, තාරුකා ෂෙහානි, හෂිනි ලියනගේ

වර්ෂාව හේතුවෙන් පමා වූ තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් Reds නායිකාව වූ නිලක්ෂි ද සිල්වාගේ තේරීම වූයේ හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් Greys කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමයි.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් Reds ඉනිම ආරම්භ කළේ ප්‍රසාදනී වීරක්කොඩි සහ නෙත්මි සේනාරත්න. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 34ක සබඳතාවක් එක් කළ ද, අනෙකුත් ක්‍රීඩිකාවන්ට එම රිද්මය දිගින් දිගට ම රැගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන් අඩු ලකුණු ප්‍රමාණයකට ඔවුන්ගේ ඉනිම සීමා වුනා.

ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිණිය වූ නෙත්මි සේනාරත්න. ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. නෙත්මි සේනාරත්න සමඟ අනෙක් අන්තයෙන් එක් වූ ප්‍රසාදනී වීරක්කොඩි එක් කළ ලකුණු සංඛ්‍යාව 14ක්.

අනතුරුව Reds ඉනිමට ඉලක්කම් දෙකක ලකුණු සංඛ්‍යාවක් එක් කිරීමට සමත් වූයේ නායිකා නිලක්ෂි සිල්වා පමණයි. ඇය පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 13ක් ලබා ගත්තා.

අනෙක් පිතිකාරිණියන් වූ දුලංසා නානායක්කාර (7), සචිනි නිසංසලා (3), මල්ෂා ෂෙහානි (0), මධුශිකා මෙත්තානන්ද (5), තාරිකා සෙව්වන්දි (1), සඳුනි සිල්වා (6*) සහ තාරුකා ෂෙහානි (9) අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නියන් සමත් වුනා.

එහි දී වඩාත් වැඩි පීඩනයක් එල්ල කිරීමට දකුණතින් පිට දඟපන්දු යවන්නියන් වූ තරුෂි රාජකරුණා සහ ඉනෝෂි ප්‍රනාන්දු සමත් වුනා.

තරුෂි රාජකරුණා තම පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 17කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගනිද්දී, ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තේ තම පන්දුවාර 4 ලකුණු 10කට සීමා කරමින්. ඊට අමතර ව අචිනි කුලසූරිය ද කඩුල්ලක් දවා ගත්තා.

Greys කණ්ඩායමේ හඹා යන ඉනිමේ දී පළමු කඩුලු දෙක අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට Reds පන්දු යවන්නියන් සමත් වුනා.

Greys ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් වෙද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 21ක් පමණයි. ඒ වෙද්දී හර්ෂිතා සමරවික්‍රම (5) සහ ඉමල්කා මෙන්ඩිස් (11) විවේකාගාරයට නැවත හරහා යවා තිබුණා.

අනතුරුව Greys ඉනිම තවත් අනතුරකට ලක් කරමින් ලකුණු පුවරුව 36ක් වෙද්දී විශ්මි ගුණරත්න ද ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුනා. ඒ වෙද්දී Greys ඉනිමේ පන්දුවාර 11ක් ම නිමා වී තිබූ අතර විශ්මි ගුණරත්න ලබා සිටියේ ලකුණු 12ක් පමණයි. ඒ සඳහා ඇය පන්දු 24ක් වැය කර තිබුණා.

කෙසේ වෙතත් එතැන් සිට තරගයේ පාලනය සියතට ගැනීමට හංසිමා කරුණාරත්න සහ කෞෂිනී නුත්‍යාංගා සමත් වුනා.

එතෙක් වේලා Reds පන්දු යවන්නියන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම්වලින් දුර්මුඛ වූ Greys ඉනිම ලකුණෙන් ලකුණ ගොඩ නැංවීමට ඔවුන් සමත් වූයේ තම කණ්ඩායම ජයග්‍රාහී මාවතේ දිනුම් කණුව පෙනෙන තෙක් මානයට රැගෙන එමින්. ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවක් එක් කළේ පන්දු 30ක් පමණක් වැය කරමින්.

එම සබඳතාවේ දී කෞෂිනී නුත්‍යාංගා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ගත් අතර ඇය දැවී යන විට Greys ඉනිම ලකුණු 74ක් ව තිබුණා.

නුත්‍යාංගාගේ දැවී යෑමෙන් අනතුරුව සියලු වගකීම් තම උර මතට ගත් හංසිමා කරුණාරත්න සිව්වැනි කඩුල්ලට ඉනෝෂි ප්‍රනාන්දු (5) සමඟ එක් වෙමින් ලකුණු 16ක සබඳතාවක් එක් කළා.

ඉනෝෂි ප්‍රනාන්දු දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ අතර, අනතුරුව පිටියට පිවිසෙමින් පන්දුවට මුහුණ දුන් නවක ක්‍රීඩිකා නිලක්ෂනා සඳමිනි හතරේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සමත් වුනා.

ඒ වෙද්දී අනෙක් අන්තයේ සිටි හංසිමා කරුණාරත්න පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී මල්ෂා ශෙහානි ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත් අතර නිලක්ෂි සිල්වා කඩුල්ලක් දවා ගත්තා.

  • Reds: කඩුලු 9ක් දැවී 91 (20) නෙත්මි සේනාරත්න 33, ඉනෝෂි ප්‍රනාන්දු 21/2, තරුෂි රාජකරුණා 4/17
  • Greys: කඩුලු 4ක් දැවී 94 (19.3) හංසිමා කරුණාරත්න නොදැවී 35, කෞෂිනි නුත්‍යාංගා 18, මලිෂා ෂෙහානි 2/13

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<