පොලිස් සහ CH බලගැන්වීමට සුපිරි යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය 2021

665

2020 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අනුශූරයින් බවට පත්වෙමින් සාර්ථක තරග වාරයක නිමාව සනිටුහන් කළ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ අනපේක්ෂිත පරාජයන් කිහිපයකටම මුහුණ දෙමින් ප්‍රබල පසුබෑමකට ලක්වූ CH&FC  එළඹෙන තරග වාරය සඳහා පාසල් රග්බි පිටියේ දස්කම් පෑ දක්ෂ, යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සේවය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

නිමාව දුටු ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළ කොළඹ ඉසිපතන විද්‍යාලයේ නියමු මනිල්ක රුබේරු සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක රශේන් ගුණවර්ධන දෙදෙනා හට පිළිවෙළින් පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ සහ CH&FC කණ්ඩායමේ දොරටු විවෘත කිරීමට අදාළ කළමණාකාරීත්වයන් ඒ අනුව පියවර ගෙන තිබේ.

පාසල් රග්බි පිටියේ වසර 5ක කාලයක් පුරාවට තම විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ මනිල්ක ඔහුගේ සමකාලීනයන් හා සසඳා බැලීමේ දී අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන්ම හඳුන්වා දිය හැක්කේ තරග වාරයන් දෙකක දී ම ඉසිපතන විද්‍යාලය මෙහෙයවීමේ වගකීම ඔහු ඉතාමත් සාර්ථක අයුරින් ඉටු කළ නිසාවෙනි.

කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක දී තම ක්‍රීඩා ශෛලිය වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස කා අතරත් ජනප්‍රිය මනිල්ක රුබේරු වැඩිදෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ 2019 වසරේ දක්ෂතම පාසල් රග්බි ක්‍රීඩකයා ලෙසින් අභිසෙස් ලැබීමත් සමඟිනි.

තවත් රග්බි පුවත්:

2020 වර්ෂයේ දී පාසල් තරග වාරය අපේක්ෂා කළ අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසාවෙන් ඔහුට සුපුරුදු ක්‍රීඩා කෞෂල්‍යයන් යලි විදහා දැක්වීමේ අවස්ථාව මඟ හැරී ගිය නමුත් ඉන් පියවරක් ඉදිරියට යමින් දේශීය රග්බි තරග බිමේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීම මනිල්කගේ ක්‍රීඩා දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වනු නිසැකය.

මනිල්ක දැක්වූ දක්ෂතාවන් හට නොදෙවෙනි වන අයුරින් පාසල් රග්බි ක්ෂේත්‍රයේ සිය නාමය ඉදිරියට රැගෙන ආ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක රශේන් ගුණවර්ධන අඛණ්ඩව වසර ත්‍රිත්වයක් තම පාසල නියෝජනය කරමින් කරළියට පැමිණියේ එම කාලසීමාව තුල කණ්ඩායමේ නිත්‍ය Fullback ක්‍රීඩකයා ලෙස තම ස්ථානය තහවුරු කරගනිමිනි.

2017 මයිලෝ ජනාධිපති කුසලාන තරගාවලිය මෙන්ම 2018 වසරේ දී ක්‍රියාත්මක වූ අන්තර් පාඨශාලීය සත්සාමාජික රග්බි තරගාවලිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩයමේ ප්‍රබල සාමාජිකයෙකු වූ රශේන් මෙවර නායකත්වයේ සුක්කානම තම අතට ගත්තේ ලීග් ශූරතාවය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගනිමිනි. නමුත් COVID-19 වසංගතයේ බලපෑම නිසාවෙන් තරග වාරය අතහැර දැමීමට ගත් තීරණයත් සමඟින් ඔහුගේ එම බලාපොරොත්තු සුන්වී යන්නට වූයේ නොසිතූ අයුරිනි.

නම්දැරූ සුපිරි කණ්ඩායම් රැසක් තම අණසක යටතට ගත් පොලිස් භටයින් ගෙවුණු තරග වාරයේ දී දැවැන්ත පෙරළියකට මුල පිරීමට සමත්කම් දැක්වූයේ ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනෙකු ද මවිතයට පත් කරමිනි. සුපිරි තරු රැසකගෙන් සන්නද්ධ CH කණ්ඩායම ද එම තරග වාරයේ දී කැපී පෙනෙන වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කළ ද ක්‍රීඩා විලාසයන්ගේ දිස්වූ ඇතැම් දුර්වලතා නිසාවෙන් අරමුණු කරගත් ඉලක්කය කරා ළඟා වීමට ඔවුන් අපොහොසත් විය. 

එළඹෙන වසරේදීත් තම රිද්මය ඒ අයුරින්ම පවත්වා ගනිමින් සෙසු කණ්ඩායම් හට අභියෝගයක් වීමට පොලිස් කණ්ඩායම සූදානමින් පසුවන අතරවාරයේ CH කණ්ඩායම ඉකුත් තරග වාරය තුල දී තමන් අතින් සිදු වූ වැරදි අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින් නව වසර සහ තරග වාරය ජයග්‍රාහී ලීලාවෙන් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. 

කෙසේ නමුත් රටෙහි පවතිනා වත්මන් තත්වය හමුවේ තවමත් 2021 තරග වාරය දියත් කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමට කටයුතු කරන බවත් තරගාවලි සංවිධායකවරුන් ප්‍රකාශයට පත්කොට තිබුණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<