අකාලයේ ජීවිතයට සමුදුන් ප්‍රංශ රග්බි තරුව

308

ප්‍රංශ ජාතික හිටපු රග්බි ක්‍රීඩක Christophe Dominici ජීවිතයෙන් සමුගෙන තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ Saint Clouds උද්‍යානයේ දී ඔහුගේ සිරුර ඊයේ (24) උදෑසන හමුවී තිබේ. ඒ වන විටත් ඔහු ඛේදජනක මරණයකට පත්ව සිටි බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබිනි. 

මිය යන විට 48 හැවිරිදි වූ Christophe Dominici, 1999 වසරේ පැවති රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පරාජය කළ තරගයේ දී ප්‍රංශය වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් ඉටුකළ අතර ඒ පිළිබඳව ප්‍රංශ රග්බි ලෝලීන් තුළ තවමත් මතකයේ පවතී. 

Dominiciගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් එම අවස්ථාවේ Saint Clouds උද්‍යානයේ සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ Dominici එම උද්‍යානයේ පිහිටි භාවිතයට නොගත් ගොඩනැගිල්ලක වහලය මතට නඟිනු තමන් දුටු බවයි. Christophe Dominici එහිදී වහළය මතින් ඇද වැටී මිය යන්නට ඇතැයි පැරිස් පොලිස් බලධාරීන් මේ වන විට අනුමාන කර තිබේ. 

කෙසේවෙතත් ඔහුගේ මරණයට හේතුව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පොලීසිය විසින් මේ වන විටත් ආරම්භ කර තිබේ. 

Christophe Dominici 2008 වසරේ දී ප්‍රංශ ජාතික කණ්ඩායමට සමුදෙන විට සිය රට වෙනුවෙන් ජාත්‍යන්තර තරග 67කට ක්‍රීඩා කර තිබිනි. 

එමෙන්ම Stade Français කණ්ඩායම නියෝජනය කරමින් පස් වතාවක් ප්‍රංශ ශූරතාව දිනා ගැනීමට ද ඔහු සමත් විය. ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහු ප්‍රංශ ගුවන්විදුලිය සහ රූපවාහිනිය සඳහා රග්බි විස්තර විචාරකයෙකු ලෙස සේවය කළේය. 

ඔහුගේ කැපීපෙනෙන දස්කම් වලින් ප්‍රබලම අවස්ථාවක් ලෙස සැලකෙන්නේ 1999 වසරේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයයි. එතෙක් තරගය තුළ පසුබෑමකට ලක්ව සිටි ප්‍රංශයට නැවත තරගයට අවතීර්ණ වීමට Dominiciගේ බලපෑම ඉවහල් විය. ඔහු ක්‍රීඩාංගණයේ වම් පසින් පන්දුව ලබාගෙන ප්‍රබල නවසීලන්ත ආරක්ෂකයින් දෙදෙනෙකු මඟහැර යමින් වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්ට කිසිදා අමතක නොවනු ඇත. 

එතෙක් තරගයේ ආධිපත්‍යය දරා සිටි නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පරාජය කිරීමට ප්‍රංශයට හැකි වූයේ Dominiciගේ උත්සාහක දිනුමත් සමඟිනි. නවසීලන්ත පසුපෙළ  ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වූ අතර ජෝනා ලොමූ ද එයට ඇතුළත් විය. 

තවත් රග්බි පුවත් කියවන්න: 

“ඩොමි” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ Christophe Dominici උසින් මීටර් 1.72 (අඩි 5 යි අඟල් 6) ක් වූ අතර තරගයක ගමන් මග වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස කීර්තියක් හිමිකර ගෙන සිටියේය. Six Nations ශූරතාවය දිනාගත් ප්‍රංශ කණ්ඩායම් හතරක සාමාජිකයෙකු වූ Dominici, Grand Slam ශූරතා දෙකක්ද දිනා ගත්තේය. 

ඊයේ වාර්තා වූ Dominiciගේ මරණය රග්බි ලෝකය මහත් කම්පාවකට පත්කර තිබේ. Dominiciගේ අහිමි වීම සම්බන්ධයෙන් ප්‍රංශ රග්බි සම්මේලනය නිල වශයෙන් නිවේදනය කර තිබිනි. එහිදී ප්‍රංශ රග්බි සම්මේලනය පවසා සිටියේ ප්‍රංශ රග්බි ක්‍රීඩාව මේ හිටපු විශිෂ්ටතම wing ක්‍රීඩකයාගේ අහිමි වීමෙන් මහත් කම්පාවට ලක්ව සිටින බවත් මේ අසීරු අවස්ථාවේ දී ඔවුන් සියලු දෙනා Dominiciගේ පවුලේ සාමාජිකයන් සහ ආදරණීයයන් සමඟින් සිටින බවත්ය. 

ප්‍රංශ රග්බි සම්මේලනය එලෙස නිවේදනය කිරීමෙන් අනතුරුව ලොව පුරා රග්බි ලෝලීන් සහ රග්බි සම්මේලනයන් සිය සංවේගයට ප්‍රකාශ කිරීමට එක්ව සිටියහ. සියලු දෙනා පවසා සිටියේ මේ විශිෂ්ට ක්‍රීඩකයා අහිමි වුවත් සදාකල් මතකයේ රැඳී සිටින බවයි. 

Dominiciට වඩාත් සමීපව සිටි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන Stade Français හි හිටපු සභාපති වූ Max Guazzini මේ සම්බන්ධයෙන් ප්‍රංශ ගුවන් විදුලිය සමඟින් සාකච්ඡාවකට එක්ව තිබිනි. එහිදී ඔහු පවසා සිටියේ මෙම පුවත ගැන අසා තමා දැඩි සේ කම්පාවට පත් වූ බවයි. එමෙන්ම Christophe Dominici තම ප්‍රියතම ක්‍රීඩකයා බවත් ඒ පිළිබඳව නිතරම තමන් අනිත් අයට පැවසූ බවත් Max Guazzini පවසා තිබිනි. 

Christophe Dominici 1999 වසරේ නවසීලන්තය සමඟ පැවති තරගයේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින්.

Christophe Dominiciගේ මරණය පිළිබඳව ඔහුගේ හිටපු කණ්ඩායම් සඟයන්ද සටහන් රැසක් තබා තිබිනි. එහිදී හිටපු ක්‍රීඩක Vincent Clerc පවසා සිටියේ මෙය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සංවේගයට පත්වූ ප්‍රවෘත්තියක් බවයි. 

“මම ඔහුත් එක්ක ඉස්සර සෙල්ලම් කළා. මේ ප්‍රවෘත්තිය මාව ගොඩක් කම්පාවට පත්කළා. මට හැමවෙලේම හිතුනා ඩොමීට ඕනෑම තරගයක දී ජයග්‍රහණය කරන්න ලොකු ආශාවක් තිබුනා කියලා.”  

අයර්ලන්තයේ හිටපු නායක Brian O’Driscoll ද සිය නිල twitter ගිණුමේ මේ පිළිබඳව සටහනක් තබා තිබිනි. එහිදී ඔහු Christophe Dominiciව විස්තර කර තිබුනේ ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාම දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත් ක්‍රීඩකයෙකු ලෙසිනි. 

මේ වසර මුලදී Dominiciගේ නම ප්‍රවෘත්ති තුළ වඩාත් කතාබහට ලක්ව තිබිනි. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්මේලනයක් විසින් දකුණු ප්‍රංශයේ පිහිටි මූල්‍යමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටි Béziers රග්බි සමාජය පවරා ගැනීමට දරන ලද උත්සාහයත් සමඟිනි. එහිදී Christophe Dominici එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබිනි. 

කෙසේවෙතත් ප්‍රංශ රග්බි සම්මේලනය පසුව එම ක්‍රීඩා සමාජය පැවරීම අත්හිටුවීමට තීරණය කළේය. ඉන් අනතුරුව Dominici ඉතාමත් කණස්සල්ලට පත්ව සිටි බව ඔහුගේ මිතුරන් පවසා තිබිනි. 

2009 වසරේ දී Christophe Dominici Le Monde සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිය ජීවිතය වූ රග්බි ක්‍රීඩාව පිළිබඳව හැඟීම්බර අදහස් කිහිපයක් පවසා තිබිනි.

රග්බි මට බොහෝ දේවල් ලබා දුන්නා. මගේ ජීවිතයට පාඩම් ගොඩක් කියලා දුන්නා. මිනිසුන්ට ගරු කරන්න, ඒ වගේම තමාටම ගරු කරන්න මට කියලා දුන්නා. නිහතමානිකම සහ සමහර සටන් වල තියෙන සාරධර්ම ගැන මට බොහෝ දේ තේරුම් ගන්න රග්බි උදව් වුනා. මම මගේ ජීවිතය තුළ ආක්‍රමණශීලී වුනා. රග්බි මට කියලා දුන්න හැමදේම මම මගේ ජීවිතයට එකතු කරගත්තා. මට දැන් ලොකු දැනුමක් තියෙනවා ජීවිතය ගැන. මම ලොකු පරිණතභාවකින් කටයුතු කරන්නේ ඒ නිසා.”  

Christophe Dominici, 

තවත් රග්බි සටනකින් හමුවෙන තුරු සමාදානයේ සැතපෙන්න! 

BBC සහ ප්‍රංශ මාධ්‍ය ඇසුරිනි.  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<