චතුරංගගේ චතුර දක්ෂතා ජයග්‍රහණයෙන් නවති

80

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (16) නිමා වූ ගාලු ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගයේ දී චතුරංග කුමාර තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 168ක ජයග්‍රහණයක් හිමි විය. 

කාසියේ වාසිය දිනා ගත් ගාලු සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේය. 

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 3ක්ව තිබිය දී දැවී ගිය පසු ලසිත් කෘෘස්පුල්ලේ වැඩි බර කරට ගනිමින් මේරියන්ස් ඉනිම ගොඩ ගැනීම කැපී පෙණුනි. ඔහු ඒ අතර රුමේෂ් බුද්ධික (20) හා සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය. 

ඉනිමේ පසුපෙළින් පිටියට පිවිසි චතුරංග කුමාර පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය. 

මේරියන්ස් ඉනිම පාලනය කිරීමට ගාලු නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක්ම උපයෝගී කර ගත්ත ද ඒ අතරින් සාර්ථක වූයේ 19 හැවිරිදි වමතින් දඟපන්දු යැවූ කවික ඩිල්ශාන් ය. ඔහු ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තේය. 

හඹා යන ඉනිමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය පන්දු 4ක් තුළ දවා ගැනීමට දකුණතින් වේගපන්දු යැවූ චතුරංග කුමාර සමත් විය. ඒ වෙද්දී ගාලු ඉනිම ලකුණක් පමණක් ලෙසින් ලකුණු පුවරුවේ සටහන් වෙද්දී යවමින් තිබුණේ ඉනිමේ දෙවැනි පන්දුවාරයයි. ගාලු ඉනිම ලකුණු 73කට සීමා වෙද්දී චතුරංග කුමාර ලකුණු 15කට කඩුලු 3ක් දවාගෙන සිටියේය. 

ඔහුට අමතරව අරුන් මලයිල් ද ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තේය. 

ගාලු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ විනුර දුල්සර ය. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් ලබා ගත්තේ හතරේ පහර 3ක් ද සමඟින් ලකුණු 27ක් පමණි. එම ඉනිමේ ක්‍රීඩකයන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාවට මෙපිටින් තැබීමට හලාවත පන්දු යවන්නෝ සමත් වූහ. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 241 (48.1) ලසිත් කෘෘස්පුල්ලේ 84, ශෙහාන් ජයසූරිය 24, රුමේෂ් බුද්ධික 20, ඉරෝෂ් ප්‍රනාන්දු 19, චතුරංග කුමාර 40, කවික ඩිල්ශාන් 4/28

ගාල්ල ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 73 (32.4) විනුර දුල්සර 27, චතුරංග කුමාර 3/15, අරුන් මලයිල් 3/19, කමිඳු මෙන්ඩිස් 2/15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<