Rugby Championship තරගාවලිය ගැන සුබ ආරංචියක්!

292
South Africa

මෙවර Rugby Championship තරගාවලියෙන් දකුණු අප්‍රිකාව ඉවත් වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබූ අතර ඔවුන් යුරෝපා ලීග් තරගාවලිය සඳහා එක්වීමේ සූදානමක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය ද කීපවරක් වාර්තා කර තිබුණි. 

කෙසේ වෙතත් එම සියලු ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කරමින් දකුණු අප්‍රිකාව එළඹෙන 2030 වසර දක්වා Rugby Championship තරගාවලියේ රැඳී සිටින බව SANZAAR සම්මේලනය පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළා.

“දකුණු අර්ධගෝලයේ රග්බි බලවතුන් විදිහට අපි මේ දුෂ්කර කාලවලට ගැළපෙන විදිහට වෙනස් වීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තියෙනවා. 2030 වසර දක්වා සුබදායී ජාත්‍යන්තර රග්බි අනාගතයක් සඳහා කැප වෙලා ඉන්නවා” SANZAAR නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ දකුණු අර්ධගෝලය තුල දේශීය සහ ජාත්‍යන්තර රග්බි ක්‍රීඩාවේ කැපීපෙනෙන වෙනස්කම් කීපයක් සිදුකිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්වූයේ දකුණු අර්ධගෝලයේ රග්බි ආධිපත්‍යය තහවුරු කරමිනි. මේ දක්වා පැවති රග්බි ලෝක කුසලාන තරගාවලි 9 අතරින් තරගාවලි 8ක දීම ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අර්ධගෝලීය රටවල් සමත් විය. 

දකුණු අප්‍රිකානු රජයේ සංචාරක නීති සහ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු නිසා මෙවර Rugby Championship තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කර තිබුණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට සෙසු දකුණු අර්ධගෝලීය කණ්ඩායම වෙතින් සිදුවන බලපෑම් නිසා ඔවුන් 6 nations රග්බි තරගාවලියට එක්වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේ පසුගිය මාර්තු මාසයේ දීය. SANZAAR විසින් පසුගිය දා කළ නිවේදනය එම සියලු මත බිඳහෙලීමට සමත්ව ඇත.

තවත් රග්බි පුවත්:

මෙවර Rugby Championship තරගාවලියෙන් දකුණු අප්‍රිකාව ඉවත් වීමත් සමඟින් එම තරගාවලිය Tri Nations තරගාවලියක් ලෙස පැවැත්වීමට SANZAAR  තීරණය කළා. ඒ අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ආජන්ටිනාව මේ වන විට එම තරගාවලිය සඳහා එක්ව සිටී. 

“දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ආජන්ටිනාව එකතු වෙලා මේ Rugby Championship තරගාවලියේ අනාගතය තවත් සාර්ථක කරගන්න සැලසුම් කරමින් ඉන්නේ. ඊළඟ දශකය දක්වාම අපේ සැලසුම් තියනවා.” 

“තරගාවලියේ අපි කරන්න බලාපොරොත්තු වෙන වෙනස්කම් ගැන මූලික නිවේදන ඊළඟ සති කීපය තුල නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 2021 වසර දක්වා ඒ සැලසුම් ක්‍රියාත්මක වේවි.” 

SANZAAR විසින් සිදු කළ මෙම නිල නිවේදනය පිළිබඳව දකුණු අප්‍රිකානු රග්බි සම්මේලනය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත් ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනය එයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණි. ඔවුන් පවසා සිටියේ දකුණු අර්ධගෝලීය කණ්ඩායම් සඳහා මෙය විශාල ජයග්‍රහණයක් බවයි. 

The Rugby Championship තරගාවලිය Tri Nations තරගාවලියක් ලෙස 1996 වසරේ දී ආරම්භ වූ අතර එයට නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව එක්ව සිටියේය. 

2012 වසරේ දී ආජන්ටිනාව මෙම තරගාවලිය සඳහා එක්වීමත් සමඟින් එම තරගාවලිය දකුණු අර්ධගෝලීය කණ්ඩායම්වල තරගාවලියක් ලෙස නිල වශයෙන් නිවේදනය කෙරිනි.

Rugby Championship තරගාවලිය මෙලෙස ස්ථාවර වීමත් සමඟින් එයට එළඹෙන වසරවල දී ෆීජි සහ ජපානය ද එක් කරගැනීමට වැඩි අවස්ථාවක් පවතින බව නවසීලන්ත රග්බි විචාරකයෙකු වන Paul Cully පවසා තිබේ. 

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව Super Rugby තරගාවලියෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැත. ඒ අනුව 2022 වසරේ සිට එම තරගාවලිය කණ්ඩායම් 12 කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

AFP ඇසුරිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<