ICC ජූලි මාසයේ සම්මානය ප්‍රභාත් ජයසූරියට

632

2022 ජූලි මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට හිමිකම් කියන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.

ජයසූරියට අමතරව මෙම සම්මානය සඳහා එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු Jonny Bairstow හා ප්‍රංශ පිතිකරු Gustav McKeon යන ක්‍රීඩකයින් නිර්දේශ වී තිබුණු අතර ඔවුන් අභිබවා යමින් ජයසූරිය මෙම සම්මානය දිනා ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය මාසයේ 8 වැනිදා ගාල්ලේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ජයසූරිය ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී කඩුලු 12ක් දවා ගැනීමට ඔහු සමත් වුනා.

ඉන් නොනැවතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දී ද ඉහළ දක්ෂතා දැක්වූ අතර එහි දී ඔහු සිය පළමු ටෙස්ට් තරග තුන අවසන් වන විට බිඳ හෙළීමට සමත් වූ ගණන 29ක්.

මාසයේ ක්‍රීඩකයා ලෙස නම් කිරීම පිළිබඳව ජයසූරිය පවසා සිටියේ,

ICC මාසයේ ක්‍රීඩකයා වීම ගැන මම අතිශයින් ගෞරවයට හා සතුටට පත්වෙනවා. මෙම සම්මානය දිනා ගැනීම වෙනුවෙන් මට මනාපය ලබා දුන් සියලුම ප්‍රේක්ෂකයින්ට මගේ ස්තුතිය පුදකරන්න මම කැමතියි.”

“ගෙවුණු මාසය මගේ ක්‍රීඩා දිවියේ අමතකම නොවන මාසයක් සහ වසරක් වුනා. ජූලි මාසයේ 8 වැනිදා ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලැබුණු මට ඕස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3 දී කඩුලු 29ක් දවා ගන්න පුළුවන් වුනා. මේ සම්මානය ලැබීමත් එක්ක ඒ මාසයට තිබෙන වටිනාකම තවත් වැඩි වුනා. 

“මේ අවස්ථාව ගැන මම කෘතඥ වෙනවා වගේම හැමදාමත් වගේ මාව විශ්වාස කරලා මට සහයෝගය දෙන මගේ පවුලේ අයට, කණ්ඩායමේ සගයන්ට, සහය කාර්ය මණ්ඩලයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් රසික රසිකාවියන්ට මම ස්තුතිවන්ත වෙනවා.”

ඒ අනුව ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, පසුගිය මැයි මාසයේ සම්මානය ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනා ගත්තා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<