ගයන්තිකා ආධිපත්‍ය රඳවා ගද්දී නිලන්ති ජාතික කිරුළට

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

2635
National Athletics

ජාතික මලල ක්‍රීඩා පිටියේ සුවිශේෂී සංධිස්ථානයක් සටහන් කරමින් අද (08) ආරම්භ වූ “100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය” දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු දිනය වූ අද උදෑසන පැවති සමාරම්භක ඉසව්ව වූ කාන්තා මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 35:01.28ක කාලයකින් අවසන් කරමින් ජාතික කිරුළ තමන් සතු කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකා ලංකා ආරියදාස සමත් වුනා. එහි දෙවැනි ස්ථානය මිනිත්තු 36:31.77කින් ඉසව්ව අවසන් කළ එස්. ඩී. හේරත් විසින් දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය මිනිත්තු 36:46.98කින් ඉසව්ව අවසන් කළ එම්. එස්. පී. එම්. පෙරේරා සතු වුනා. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරනා ක්‍රීඩිකාවන්.

උදෑසන පැවති පිරිමි මීටර් 5,000 ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ මිනිත්තු 14:34.26ක කාලයකින් ඉසව්ව අවසන් කළ වී. වස්කෝන් හටයි. එහි දෙවැනි ස්ථානය ඩී. එස්. දිසානායක (මිනිත්තු 14:34.86) හටත්, තෙවැනි ස්ථානය ආර්. එම්. එස්. පුෂ්පකුමාර (මිනිත්තු 14:38.96) හටත් හිමි වුනා. මොවුන් තිදෙනාම යුද හමුදාව නියෝජනය කරනා ක්‍රීඩකයින්.

කාන්තා මීටර් 1500 ඉසව්වේ ආධිපත්‍ය එලෙසෙම රඳවා ගත් නාවික හමුදාව නියෝජනය කරන ජාතික ශූරී ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ මිනිත්තු 4:12.41ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි. මිනිත්තු 4:34.29ක කාලයකින් ඉසව්ව අවසන් කළ කේ. එස්. ලක්ෂානි (යුද හමුදා) දෙවැනි ස්ථානයත්, මිනිත්තු 4:35.03ක කාලයකින් ඉසව්ව අවසන් කළ කෙම්නා කුමාරි (ගුවන් හමුදා) තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.

පළමු දිනයේ උදෑසන අර්ධය සාර්ථකව නිමාවට පත් වුනත්, දහවල් අර්ධයට වර්ෂාවෙන් දැඩි ලෙස බාධා එල්ල වූ නිසා දහවල් පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා සහ පිරිමි රිටි පැනීම අවසන් තරග දෙවැනි දිනයට කල් දමන්නට සංවිධායකයින් තීරණය කළා.

වර්ෂාවෙන් පසුව ධාවන පථයේ තත්වය සලකා බැලීමෙන් අනතුරුව අද පැවැත්වීමට නියමිතව තිබූ පිරිමි මීටර් 110 සහ කාන්තා මීටර් 100 කඩුලු මතින් දිවීමේ අවසන් තරග ද හෙට දිනය දක්වා කල් දැමීමට සංවිධායකයින් කටයුතු කළා.

වර්ෂාව තරමක් පහව යාමෙන් පසුව කාන්තා සහ පිරිමි මීටර් 200 සහ 800 අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමෙන් පසුව පළමු දිනය නිමාව දුටුවා.

>> පළමු දිනයේ සම්පූර්ණ තරග ප්‍රතිඵල <<

තරගාවලියේ දෙවැනි දිනය හෙට (09) ක්‍රියාත්මක වන අතර එදින මීටර් 200 සහ 800 අවසන් තරග මෙන්ම තවත් උද්වේගකර අවසන් තරග කිහිපයක්ම පැවැත්වීමට නියමිතයි. 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ උණුසුම ඔබ වෙත සජීව ලෙස රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<