වනිඳු හසරංගට කෝටි 4ක ගිවිසුමක් අහිමි වෙයි

The Hundred ක්‍රිකට් තරගාවලිය 2022

3944
SLC denies NOC to Wanindu Hasaranga for The Hundred

මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා, ශ්‍රී ලංකා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඊට අවසර (NOC) ලබා නොදීම හේතුවෙන් පසුගිය 3 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට වනිඳු හට හැකියාව ලැබුණේ නැහැ.

එළඹෙන ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔහුව ශාරීරිකව හා මානසිකව යහපත් මට්ටමක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රිකට් ආයතනය එම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර The Hundred තරගාවලියේ දී වනිඳු Manchester Originals සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු අතර එහි දී ඔහුව පවුම් 100,000ක මුදලක් වැය කරමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 438කට ආසන්න වටිනාකමක්) ඔහුව මිල දී ගෙන තිබුණා.

ඒ අනුව වනිඳුට පවුම් 100,000ක වටිනාකමින් යුත් එම ගිවිසුමෙන් ඉවත් වීමට සිදුව ඇති නමුත්, අවශ්‍ය නම් Manchester Originals කණ්ඩායමට ලබන වසරේ තරග අදියර සඳහා ඔහුව සිය කණ්ඩායමේ රඳවා ගැනීමේ හැකියාව ද පවතිනවා.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය ද මෙම දිනවල දී පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, මෙවර The Hundred තරගාවලිය සඳහා වනිඳුට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවට පෙර සිටම අපේක්ෂා කෙරුණු නමුත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කිරීමත් සමඟ වනිඳුට පන්දු සියයේ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් උදා වී තිබුණා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<