Major League පිටියේ ටැමිල් යූනියන් සහ CCC අභියෝගය

SLC Major League Cricket Tournament 2022

235

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 17 වැනිදා සිට 20 දක්වා කොළඹ 7, සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්විමට නියමිතයි.

කාණ්ඩ 2ක් යටතේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලසිත් අබේරත්නගේ නායකත්වයෙන් යුත් CCC කණ්ඩායම සහ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ටැමිල් යූනියන් කණ්ඩායමයි.

කණ්ඩායම් 26ක් සහභාගී වූ තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැත්වුනා. ඒ අනුව A කාණ්ඩයෙන් CCC ද, B කාණ්ඩයෙන් ටැමිල් යූනියන් ද ඉහළ ප්‍රසාද ලකුණු ලබා ගනිමින් මෙම තරගය සුදුසුකම් ලබා ගත්තා. තරගාවලියේ පළමු වටයේ තරග තුන්දින තරග ලෙසින් පැවති අතර අවසන් මහා තරගය දින 4ක් පුරා පැවැත්වෙනවා.

ප්‍රසාද ලකුණු පුවරුව

Group A
TEAMS M W L T D N/R PT
1 CCC 12 5 0 0 6 1 160.605
2 මුවර්ස් ක්‍රීඩා සමාජය 12 4 0 0 6 2 119.315
3 SSC 12 2 0 0 10 0 106.655
4 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය 12 1 2 0 8 1 100.155
5 රාගම ක්‍රිකට් සමාජය 12 1 1 0 8 2 82.81
6 BRC 12 2 5 0 3 2 75.545
7 සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය 12 1 1 0 9 1 72.795
8 කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය 12 3 5 0 3 1 70.94
9 ගාල්ල ක්‍රිකට් සමාජය 12 2 2 0 6 2 70.565
10 පොලිස් ක්‍රීඩා සමාජය 12 2 2 0 7 1 69.85
11 කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය 12 1 0 0 9 2 63.6
12 කළුතර නාගරික සමාජය 12 0 4 0 6 2 55.945
13 ලංකන් ක්‍රිකට් සමාජය 12 1 3 0 7 1 46.01
Group B
TEAMS M W L T D N/R PT
1 ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය 12 5 1 0 5 1 143.34
2 යුද හමුදා ක්‍රීඩා සමාජය 12 3 0 0 8 1 121.73
3 NCC 12 1 0 0 10 1 115.205
4 හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය 12 1 0 0 11 0 97.745
5 බදුරලිය ක්‍රීඩා සමාජය 12 3 1 0 8 0 92.865
6 පානදුර ක්‍රීඩා සමාජය 12 2 1 0 7 2 83.56
7 ACE කැපිටල් ක්‍රිකට් සමාජය 12 3 1 0 8 0 80.1
8 බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය 12 2 2 0 8 0 76.76
9 මීගමුව ක්‍රිකට් සමාජය 12 1 3 0 8 0 75.51
10 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 12 1 4 0 7 0 71.765
11 නුගේගොඩ ක්‍රීඩා සමාජය 12 0 3 0 9 0 62.975
12 සැරසන්ස් ක්‍රීඩා සමාජය 12 1 1 0 9 1 62.11
13 නාවික හමුදා ක්‍රීඩා සමාජය 12 1 7 0 4 0 51.255

(M: තරග, W: ජයග්‍රාහී තරග, L: පරාජිත තරග T: ලකුණු සමවීමෙන් අවසන් වු තරග D: විසඳුමකින් තොරව අවසන් වූ තරග, N/R: අතහැර දමන ලද තරග, PT: ප්‍රසාද ලකුණු)

CCC කණ්ඩායම

පෙර වසරවල දී සේ ම මේ වසරේත් CCC අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ අපරාජිතව සිටිමින් අනෙකුත් කණ්ඩායම් සමඟ විශාල පරතරයකින් යුක්ත ව ප්‍රසාද ලකුණු පුවරුවේ පෙළහර පාමින්.

ඔවුන් කළුතරට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 62ක ජයග්‍රහණයක්, කෝල්ට්ස්ට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක්, BRCට එරෙහිව කඩුලු 9ක ජයග්‍රහණයක්, සෙබස්තියනයිට්ස්ට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 254ක ජයග්‍රහණයක් සහ කැන්ඩි කස්ටම්ස්ට එරෙහිව ලකුණු 98ක ජයග්‍රහණයක් ද ලබා ගැනීමට සමත් වෙනවා.

ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසුවෙන්නේ මිනෝද් භානුක. ඔහු මෙවර තරගාවලියේ දී තරග 11ක ඉනිම් 17ක දී ලකුණු 781ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ 10 වැනියා බවට පත් ව සිටිනවා.

ඔහුට අමතරව මෙවර තරගාවලියේ ද්විත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වූ කමිඳු මෙන්ඩිස්ට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු මේ දක්වා තරග 8ක ඉනිම් 11ක දී ලකුණු 752ක් වාර්තා කරන්නේ තවත් ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් තම දත්ත අතරට එක් කරමින්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 83.55ක් වන අතර එය එම ලැයිස්තුවේ 5 වැන්නට ශ්‍රේණිගත වූ දක්ෂතාවක්.

කණ්ඩායමේ නායක ලසිත් අබේරත්න ද මෙම පිතිකරු ලැයිස්තුවේ ඉහළින් රැදී සිටින අයෙක්. ඔහු ඉනිම් 16ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 615ක් ලබා සිටිනවා. ඊට අමතරව චමිඳු විජේසිංහ සහ නිමේෂ ගුණසිංහ ද CCC කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් ලෙසින් හැඳින්විය හැකි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් අතර අශාන් ප්‍රියන්ජන් කෙරෙහි තිබෙන්නේ දැඩි විශ්වාසයක්. ඔහු මේ දක්වා තරග 9ක ඉනිම් 13කට සහභාගී වෙමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 313ක් වන අතර පන්දු යවන්නෙක් ලෙසින් ද වාර්තා කර ඇති කඩුලු ප්‍රමාණය 26ක්.

CCC කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී වඩාත් දක්ෂතා දක්වා තිබෙන්නේ වමතින් දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර. ඔහු මේ දක්වා කඩුලු 5ක් ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 4ක් ද වාර්තා කරමින් ලබා සිටින කඩුලු ප්‍රමාණය 45ක්.

ඔහුට අමතරව වමතින් දඟපන්දු යවන 21 හැවිරිදි සොනාල් දිනූෂ ද CCC කණ්ඩායමේ සිටින ප්‍රබල පුරුකක්. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු ප්‍රමාණය 35ක්.

CCC කණ්ඩායම් සංචිතය: ලසිත් අබේරත්න (නායක) නිමේෂ ගුණසිංහ, සොනාල් දිනූෂ, මිනෝද් භානුක, චමිඳු විජේසිංහ, පවන් පතිරාජ, විනුශ්ක සිල්වා, අසිත ප්‍රනාන්දු, යසරුවන් හේරත්, දෙවිඳු කැකිරිදෙණිය, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන්, මාලිංග අමරසිංහ, විශ්ව ප්‍රනාන්දු, පවන් රත්නායක, පවන්ත වීරසිංහ, ලක්ෂාන් සඳකැන්, අංජල බණ්ඩාර, මාලින්ද පුෂ්පකුමාර, දුවිඳු රණතුංග, වනිඳු හසරංග.

ටැමිල් යූනියන් කණ්ඩායම

ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ ද තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ තරග 5ක් ජයග්‍රහණය කරමින්.

ඔවුන් බදුරලියට එරෙහිව ඉනිමක සහ ලකුණු 11ක ජයග්‍රහණයක්, ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 270ක ජයග්‍රහණයක්, සැරසන්ස්ට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක්, මීගමුවට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් සහ නාවික හමුදාවට එරෙහිව කඩුලු 6ක් ද වාර්තා කරනවා.

නමුත් හලාවත මේරියන්ස් ඉදිරියේ ලකුණු 203කින් පරාජය වූ තරගයක් ද මේ අතර එක් වෙනවා.

කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරුවා වී සිටිනේ නායක සදීර සමරවික්‍රම. ඔහු මේ දක්වා ඉනිම් 18ක දී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 791ක් වාර්තා කරගෙන තිබෙනවා. එය ටැමිල් යූනියන් ඉනිමේ ඉහළ ම දක්ෂතාව වන අතර Major League තරගාවලියේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානයට එම දක්ෂතාව ගොනු වී තිබෙනවා.

ඊට අමතරව නවෝද් පරණවිතාන ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 699ක් ලබා ගනිමින් ද, රොන් චන්ද්‍රගුප්ත, කමේෂ් නිර්මාල් සහ සංතුශ් ගුණතිලක ද පිතිකරුවන් සේ නිමා වූ තරගවල දී ලකුණු අතරට පිවිස ඇති අතර ඔවුන්ගේ සේවය ද අවසන් මහා තරගයට යොදා ගනිතැයි විශ්වාස කරනවා.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතර 23 හැවිරිදි රවිඳු ප්‍රනාන්දුට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 623ක් ලබා ගනිමින් ද දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 31ක් ලබා ගනිමින් ද ටැමිල් කණ්ඩායමේ වගකීම් කරට ගැනීමට සූදානමින් සිටිනවා.

එමෙන් ම තවත් යොවුන් ක්‍රීඩකයෙක් වන 22 හැවිරිදි දිලුම් සුදීරට ද කණ්ඩායමේ හිමි වෙන්නේ ඉහළ පිළිගැනීමක්. වමතින් දඟපන්දු යවන දිලුම් මේ දක්වා ලබා සිටින කඩුලු ප්‍රමාණය 48ක්. ඔහු මේ දක්ෂතා දක්වද්දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගන්නා ලද අවස්ථා 4ක් වාර්තා කරනවා.

ටැමිල් කණ්ඩායම වෙනුවෙන් මෙතෙක් වැඩිම කඩුලු ලබා සිටින්නේ ද දිලුම්. පිතිකරුවෙක් ලෙසින් ද පසුපෙළ ශක්තිමත් කරමින් පිටියට පිවිසෙන දිලුම් අර්ධ ශතක 2ක් සමඟින් මේ දක්වා ලකුණු 280ක් ලබා සිටිනවා.

ටැමිල් යූනියන් කණ්ඩායම් සංචිතය: සදීර සමරවික්‍රම (නායක) රොන් චන්ද්‍රගුප්ත, සංතුශ් ගුණතිලක, කමේෂ් නිර්මාල්, රවිඳු ප්‍රනාන්දු, රවීන් ද සිල්වා, දිලුම් සුදීර, කවිඳු පතිරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, දුලාජ් සමුදිත, නවෝද් පරණවිතාන, සුපුන් කාවින්ද, සිතාර හපුහින්න, ඩිල්රුවන් පෙරේරා, ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු.

CCC කණ්ඩායම් මෙවර මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගී වෙන්නේ අවසන් වරට පැවැති තුන්දින තරගාවලියන් හී ශූරයන් සේ ලත් අභිමානයත් සමඟින්. ඔවුන් 2019 වසරේ දී අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන් යුක්තව ද සහ 2020 වසරේ දී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුක්තව ද Premier League නමින් යුත් තුන්දින තරගමාලා ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ මෙම තරගය සඳහා පිවිසෙන්නේ 2022 වසරේ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවාරයේ ජයග්‍රාහකයන් ලෙසින්. මේ වසරේ අගෝස්තුවේ නිමා වූ එම තරගාවලියේ දී ටැමිල් යූනියන් කණ්ඩායම මෙහෙයවූයේ සදීර සමරවික්‍රමයි.

ඒ අනුව මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී CCC පිට පිට ම තෙවැනි වතාවටත් ශූරතාව දිනා ගැනීම අරමුණු කර ගනිමින් පිටියට පිවිසීමට මේ වන විටත් පිඹුරුපත් සකසනු ඇත. ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ ද මෙම තරගයේ දී මීට මාස කිහිපයකට ඉහත දී දිනා ගත් සීමිත පන්දුවාර ක්‍රිකට් කිරුළේ උණුසුමට මෙම කිරුළ ද එක් කිරීමට කැස කවනු ඇත.

එහි අවසන් ප්‍රතිඵලය කුමක් වූවත්, අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකට ම ThePapare.com අපගේ උණුසුම් පැතුම් එක් කරමු.

අවසන් තරගයේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<