SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

1105

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් පැවැත්වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ලීගයේ කණ්ඩායම් සහ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගෝස්තු 09 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 4ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 60 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස කුසල් මෙන්ඩිස් නායකත්වය දරන SLC REDS කණ්ඩායම හැඳින්විය හැකි අතර එම කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කමිඳු මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක SLC GREENS කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර එම කණ්ඩායම සඳහා පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවන් තුෂාර වැනි මෑතක දී ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලද ක්‍රීඩකයින් ඇතුළත්.

චරිත් අසලංක නායකත්වය දරන SLC BLUES කණ්ඩායමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම සහ කසුන් රාජිත ඇතුළත්.

තරගාවලියේ අනෙකුත් කණ්ඩායම වන SLC GREYS කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන් හට හිමිව ඇති අතර වර්තමානයේ දේශීය පිටියේ දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායමට අකිල ධනංජය, අශාන් රන්දික, දුවිඳු තිලකරත්න, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත් වනවා.

>> තරගාවලියට නම් කළ කණ්ඩායම් <<

තරග 6කින් සමන්විත මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ පෙරමුණේ පසු වන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් මහා තරගය අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තරග කාලසටහන,

මෙම තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<