කුසල් පෙරේරාගේ සිදුවීම ගැන SLC කරුණු පැහැදිලි කරයි

7953

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධයට අදාළ සැත්කමට අදාළ වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට පල වූ පුවත පිළිබඳව කරුණු දක්වමින් මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ,

“කුසල් ජනිත් පෙරේරා 2022 ආසියානු කුසලානය සහ ලෝක කුසලානයට සූදානම් කරවීමේ අරමුණින් ඔහු සඳහා සති දොළහක පුනරුත්තාපන (ආබාධ සුව වීමේ) කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරන ලදි.

එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් ජනිත් පෙරේරාට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන එම පුනරුත්තාපන වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව තුළ කිසිදු ක්‍රිකට් තරගාවලියකට සහභාගී නොවන ලෙසයි.

කෙසේ නමුත් එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදෙස්වලට අවනත නොවී 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීව තිබූ අතර එය ඔහුගේ පුනරුත්තාපන කාලයට ද බලපා තිබුණා.

එම තරගාවලියෙන් පසුව නැවතත් ලෝක කුසලානය සහ ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ඔහු පුනරුත්තාපන වැඩසටහනට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබූ අතර එම නිසාවෙන් ඔහුව මෑතක දී පැවැත්වූ තරග සංචාර සඳහා ද සලකා බැලුණේ නැත.

නමුත් ඔහු එම පුනරුත්තාපන වැඩසටහනට නිවැරදි ලෙස සහභාගි නොවූ අතර ඔහු අවසන් වරට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ 2022 වසරේ අප්‍රේල් 29 වැනි දිනයි.

එබැවින් එම ක්‍රියාවලියට ඔහුගේ උනන්දුව සහ කැපවීම අවම නිසාවෙන් එය සිදු කිරීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි. එය ක්‍රීඩකයාගේ අන්තයෙන් ප්‍රමාද වන විට ලෝක කුසලානයට සහ ආසියානු කුසලානයට ක්‍රීඩකයන් සූදානම් කිරීමේ ක්‍රියාවලියට ඔහු නොගැළපෙන බව පෙනී යයි.

කෙසේ නමුත් තත්වය එලෙස තිබිය දී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ක්‍රීඩකයාට දැනුම් දුන්නේ ඔහුගේ ශල්‍යකර්මය සඳහා වැය වෙන මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන බවයි”.

මෙම සැත්කම සඳහා වැය වන සම්පූර්ණ මුදල දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, රක්ෂණයෙන් ආවරණය නොවන කොටසින් වැඩි බරක් ක්‍රීඩකයා දැරිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශ කළ බව Sunday Times පුවත්පත සඳහන් කර තිබුණා.

එම පුවත්පතට අනුව කුසල් ජනිත් පෙරේරා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ආබාධය සුව කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය වෛද්‍ය Andrew Wallace සමඟ සාකච්ඡා කර ඇත.

පසුගිය වසරේ ඉන්දියාව සමඟ පැවති තරගාවලියේ දී කුසල් ජනිත් පෙරේරා උරහිසේ ආබාධයට ලක් වූ නමුත් දකුණු අප්‍රිකාව සමඟ ලෝක කුසලානයට පෙර පැවති තරගාවලියේ දී ඔහු නැවතත් සංචිතයට එක් වුනා.

එම තරගාවලියේ විස්සයි විස්ස තරග ක්‍රීඩා කළ ඔහු පසුව පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සහ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<