ජයසූරිය ICC මාසයේ ක්‍රීඩකයන්ගේ නිර්දේශිත නාම අතරට

1048

ජූලි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ඊයේ (3) ප්‍රකාශයට පත් කළා.

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු Jonny Bairstow, ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා ප්‍රංශ පිතිකරු Gustav McKeon යන ක්‍රීඩකයින් ජූලි මාසය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින් වනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ජයසූරිය ටෙස්ට් වරම් දිනා ගත් අතර, එම තරගයේ දී කඩුලු 12ක් දවා ගැනීමට ඔහු සමත් වුනා. ඉන් නොනැවතුණු ජයසූරිය පාකිස්තානයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ දී ද ඉහළ දක්ෂතා දැක්වූ අතර එහි දී ඔහු සිය පළමු ටෙස්ට් තරග තුන අවසන් වන විට බිඳ හෙළා ඇති කඩුලු ගණන 29ක්.

පසුගිය වසරේ දී ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන සම්මානය දිනා ගත් Bairstow ඉන්දියාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී (ලකුණු 106 සහ ලකුණු 114*), දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින (ලකුණු 63) සහ විස්සයි විස්ස තරගවල දී (පන්දු 53කදී ලකුණු 90) කැපී පෙනෙන පිතිකරණ දස්කම් දක්වමින් බොහෝමයක් තරගවල දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණ වෙත රැගෙන ගියා.

වයස අවුරුදු 18ක් වන ප්‍රංශ ක්‍රීඩක Gustav McKeon, 2024 ලෝක කුසලාන තරගාවලියේ යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ජූලි 24 වැනිදා චෙක් ජනරජ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සිය මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයේ දී පන්දු 54ක දී ලකුණු 76ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

ඉන් නොනැවතුණු McKeon ස්විස්ටර්ලන්තයට සහ නොර්වේ කණ්ඩායම්වලට එරෙහිව පිළිවෙළින් ලකුණු 109ක් සහ ලකුණු 101ක් ලබාගෙන  ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුල නොකඩවා ශතක දෙකක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා වීමට ද සමත් වුනා.

එසේම එස්ටෝනියා කණ්ඩායමට එරෙහිව ලකුණු 87ක් ලබාගෙන සුපිරි දස්කම් දැක්වූ අතර ඔහු ජූලි මාසයේ දී සහභාගී වූ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5 දී ලකුණු 377ක් ලබාගෙන තිබෙන්නේ 75.40 ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් ද රඳවාගෙනයි. එයට ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත්. එසේම පන්දු යැවීමෙන් ද ඔහු මේ වන විට කඩුලු 4ක් දවාගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<