හයිඩ්‍රාමණී ශ්‍රී ලංකා දැල්පන්දුව සමඟ අත්වැල් බැඳ ගනී!

Netball World Cup 2023

566

ශ්‍රී ලංකා යොවුන් සහ ජාතික දැල්පන්දු කණ්ඩායම්වල නිල ඇඳුම් සහකරු ලෙස හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරය කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් ව යන අවස්ථාවේ දීයි දෙපාර්ශවය විසින් මේ බව නිවේදනය කර තිබෙන්නේ.

හයිඩ්‍රාමණී වෙතින් ලැබෙන මෙම ත්‍යාගශීලී දායකත්වය සහ සහයෝගය වෙනුවෙන් අපේ කෘතඥතාව පළ කරනවා. මේ තමයි මෙම කණ්ඩායම්වලට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව දියුණු කළ ඇඳුම් කට්ටල ලැබුණු පළමු අවස්ථාව. අපි ගෝලීය වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කරන නිසා මෙය වැදගත් පියවරක් බව විශ්වාස කරනවා. එමෙන්ම මෙය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම විසින් මෙරටට රැගෙන එන අභිමානය වෙනුවෙන් ලැබුණු වැදගත් පිළිගැනීමක්.”

හයිඩ්‍රාමණී වෙතින් ලද මෙම අනුග්‍රහය පිළිබඳ සිය ස්තුතිය පළ කරමින් ශ්‍රී ලංකා දැල්පන්දු සභාපතිනිය වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය විසින් එසේ සඳහන් කරනවා.

මේ වන විට ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, නිමා වූ 2018 සහ 2022 ආසියානු දැල්පන්දු ශූරතාවලි දෙක ම නොකඩවා ජයග්‍රහණය කරමින් ආසියාවේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුනා. එමෙන්ම ඔවුන් 1985 වසරේ සිට මෙතෙක් අඛණ්ඩව ආසියාවේ හොඳම කණ්ඩායම් තුන අතරේ දිගින් දිගටම රැඳී සිටීමට ද සමත් වී තිබෙනවා.

මේ අතර මෙවර දැල්පන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ 11 වැනි ලෝක කුසලාන තරගාවලිය වන අතර 1963 වසරේ පැවැත්වුණු තරගාවලියේ දී 9 වැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉහළ ම ලෝක කුසලාන දක්ෂතාව ලෙස සැලකිය හැකි.

එමෙන්ම ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ද පසුගිය දා පැවැත්වුණු ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ දී තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

“කාන්තාව විසින් සිය පවුල මෙන්ම සමස්ත ජාතියම හැඩ ගැන්වීම වෙනුවෙන් ප්‍රධාන කාර්යයක් ඉටු කරනා බව හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරය ලෙස අප විශ්වාස කරනවා.”

එම නිසා කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා දැල්පන්දු ජාතික සහ යොවුන් කණ්ඩායම් වෙත සිය සහය ලබා දීමට තීරණය කළ බවත්, හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරයේ සභාපති විනෝද් හයිඩ්‍රාමණී මහතා විසින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම මේ මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අඛණ්ඩ සාර්ථකත්වයට විශාල සහයක් ලැබෙනු ඇති බවට ද ඔහු විසින් සිය විශ්වාස පළ කරනවා.

1960 දශකය මුල භාගයේ පටන් ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන හයිඩ්‍රාමණී සමූහ ව්‍යාපාරය බංග්ලාදේශය, ඉතියෝපියාව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල විසිරී ඇති ගෝලීය නිෂ්පාදන ජාලයක් ද සමඟින් ලොව පුරා ගනුදෙනුකරුවන් වෙත නවීනතම ඇඳුම් විලාසිතා ළඟා කිරීමට කටයුතු කරන ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි.

2023 දැල්පන්දු ලෝක කුසලානය අද (28) දිනයේ ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද රාත්‍රි 9.30 ජැමෙයිකාව සමඟින් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<