ආසියානු දැල්පන්දු ශූරියන්ගේ ලෝක කුසලාන ආක්‍රමණය

Netball World Cup 2023

787

16 වැනි වරටත් පවත්වන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය මේ මස 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග මේ වෙනුවෙන් ම සාදා නිමා වූ Cape Town International Convention Centre (CTICC) හිදී පැවැත්වේ.

තරගාවලිය සඳහා රටවල් 16ක කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, එංගලන්තය, උගන්ඩාව සහ සත්කාරක දකුණු අප්‍රිකාව යන රටවල් 6 තරගාවලියට සෘජුව ම සහභාගී වීමට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා. ඊට අමතර ව ඕෂනියා (Oceania), අප්‍රිකා (Africa), ආසියාව (Asia), යුරෝපය (Europe) සහ ඇමරිකාව (Americas) යන කලාප නියෝජනය කරමින් රටවල් 2 බැගින් රටවල් 10ක් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සඳහා එක් වෙමින් මෙම තරගාවලියට එක් වෙනවා.

ඒ අනුව ඕෂනියා කලාපය නියෝජනය කරමින් ටොන්ගෝ සහ ෆීජි දූපත් ද, අප්‍රිකා කලාපය නියෝජනය කරමින් මලාවි සහ සිම්බාබ්වේ ද, යුරෝපය කලාපය නියෝජනය කරමින් ස්කොට්ලන්තය සහ වේල්සය ද, ඇමෙරිකා කලාපය නියෝජනය කරමින් බාබඩෝස් සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රාජ්‍යයන් ද ආසියානු කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව ද මෙම තරගාවලියට එක් වෙනවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී තරග බිමට පිවිසෙන්නේ ආසියානු ශූරියන් ලෙසිනුයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිංගප්පූරුවේ සත්කාරකත්වයෙන් පැවති ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී අපරාජිතව ශූරතාවට හිමිකම් කී ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී C කාණ්ඩයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි. ඔවුන් සමඟින් ජැමෙයිකාව, වේල්සය සහ සත්කාරක දකුණු අප්‍රිකාව ප්‍රතිවාදීන් ලෙසින් සහභාගී වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන සහ ප්‍රතිවාදීන්

ජුලි 28 වැනිදා – ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර තරගය සවස 6.00

සන්ෂයින් ගර්ල්ස් (Sunshine Girls) නමින් දැල්පන්දු ලෝකයේ ප්‍රචලිත ජැමෙයිකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ රැදී සිටින්නේ 4 වැනි ස්ථානයේයි.

ඔවුන් මේ දක්වා ලෝක කුසලාන තරගාවලියන්වල දී 1991, 2003 සහ 2007 යන වසර ත්‍රිත්වයේ දී තෙවැනි ස්ථාන දිනා සිටිනවා. ඊට අමතර ව අවස්ථා 4ක දී සිවු වැනි ස්ථානත්, අවස්ථා 7ක දී 5 වැනි ස්ථානත් සහ එක් අවස්ථාවක දී 6 වැනි ස්ථානත් දිනා ගත් කණ්ඩායමක්.

ඔවුන් අවසන් වරට නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවා.

ජූලි 29 වැනිදා – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සවස 4.00

1995 වසරේ දී එංගලන්තයේ පැවති 9 වැනි ලෝක කුසලාන තරගාවලියේ අනුශූරියන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ තම රටේ සත්කාරකත්වයේ ද වාසිය සමඟිනුයි. ඊට අමතරව ඔවුන් නිමා වූ ආසන්නත ම වසරේ දී සිව්වැනි ස්ථානය දිනා ගනිමින් පෑ දක්ෂතා ද ඊට ඈදා ගනු නියතයි.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ දී ඔවුන් මෙවර සහභාගී වෙන්නේ 10 වැනි වතාවටයි. ඒ අතුරින් ඉහත ජයග්‍රහණවලට අමතරව ඔවුන් 1967 වසරේ දී තෙවැනි ස්ථානයත්, අවස්ථා 4ක දී 5 වැනි ස්ථානත් සහ අවස්ථා 2ක දී 6 වැනි ස්ථානත් දිනා තිබෙනවා.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගමාලාවන් හී මෙවැනි ඉහළ ස්ථාන දිනා ගත්තත් 1971, 1975, 1979, 1983, 1987 සහ 1991 වසරවල ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ගන්නේ නැහැ.

ජූලි 30 වැනිදා – ශ්‍රී ලංකාව සහ වේල්සය අතර තරගය උදේ 9.00

වේල්සය ලෝක කුසලාන තරගාවලියක් හා එක් වෙන 14 වැනි අවස්ථාවයි මේ. මේ දක්වා සහභාගී වූ ලෝක කුසලාන 13 තුළ ඔවුන් දිනා ගත් ඉහළ ම ස්ථානය වනුයේ 1979 වසරේ දී  ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවති තරගාවලියේ ලත් 6 වැනි ස්ථානයයි.

වේල්සය මේ වන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියත් ඔවුන් 1967 වසරේ දී මෙන් ම අවසන් වරට 2019 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලියට ද සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා නොගත් කණ්ඩායමක් ලෙසයි වාර්තා වන්නේ.

එසේ වූවත් ඔවුන් මෙවර තරගාවලිය සඳහා එක් වෙන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී යුරෝපීය කලාපයෙන් අපරාජිතව ශූරීයන් වෙමින් වීම විශේෂත්වයක්. ඒ අනුව වේල්ස් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් සහභාගී වෙන 14 වැනි අවස්ථාව මෙයයි.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක් සඳහා සහභාගී වන 11 වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර සහභාගී වූ 10 වතාවේ දී ශ්‍රී ලංකාව දිනා ඇති ඉහළ ම ස්ථානය 1963 දී මංගල ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රේණිගත වූ 9 වැනි ස්ථානයයි.

ඉන් අනතුරුව 1967 ඕස්ට්‍රේලියාව, 1971 ජැමෙයිකාව, 1975 නවසීලන්තය සහ 1979 ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රටවල පැවති ලෝක කුසලාන තරගාවලිවලට සහ 2007 වසරේ දී නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගන්නේ නැහැ.

1983 වසරේ දී 14 වැනි ස්ථානයටත්, 1987 වසරේ දී 16 වැනි ස්ථානයටත්, 1991 වසරේ දී 15 වැනි ස්ථානයටත්, 1995 වසරේ දී 19 වැනි ස්ථානයටත්, 1999 වසරේ දී 21 වැනි ස්ථානයටත්, 2003 වසරේ දී 18 වැනි ස්ථානයටත්, 2011 වසරේ දී 14 වැනි ස්ථානයටත්, 2015 වසරේ දී 16 වැනි ස්ථානයටත් සහ අවසන් වරට 2019 වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී 15 වැනි ස්ථානයටත් පත් වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව එක් වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානයේ සිටිමින් මෙන් ම ආසියානු කලාපයේ ශූරියන් ලෙස ලත් අභිමානයත් සමඟිනුයි.

තරගාවලියට එක් වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බොට්ස්වානා කණ්ඩායම සමඟින් දින 10ක පමණ කාලයක පුහුණු තරග සහ සැසි සඳහා එක් වුනා.

ඒ අනුව ඔවුන් සමඟ වූ පළමු පුහුණු තරගයේ දී බොට්ස්වානා ක්‍රීඩිකාවෝ සෑම වටයක දී ම ශ්‍රී ලංකාව අභිබවා යෑමට සමත් වූවා. ඒ අනුව තරගය නිමා වෙන්නේ 70-51ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජය වෙමින්.

දෙවැනි පුහුණු තරගය එරට පොලිස් කණ්ඩායම සමඟින් පැවති අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 70-36කින් තරගය ජයග්‍රහණය කරනවා. එහි සුවිශේෂී ලක්ෂණය වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පාලනය පළමු විනාඩියේ සිට ම පවත්වා ගෙන යෑමයි.

තෙවැනි තරගය බොට්ස්වානා ආරක්ෂක සේවා කණ්ඩායම සමඟින් පැවති අතර එම තරගය ද පෙර තරගය හා සමඟ යමින් ලකුණු 55-53ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.

අනතුරුව නැවතත් අවසන් තරගයට බොට්ස්වානා කණ්ඩායම එක් වෙන අතර එම තරගයේ දී නැවත වතාවක් බොට්ස්වානා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. එම තරගයේ දී එම කණ්ඩායම සමඟින් වූ පෙර තරගයට වඩා හාත් පසින් ම වෙනස් ම තරග රටාවක නිරත වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

ඔවුන් පළමු අර්ධය නිසා කරන්නේ ලකුණු 15-13ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින්. නමුත් දෙවැනි වටයේ දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ ලකුණු 29-25ක් ලෙසින් ඉදිරියට පිවිසෙනවා. තෙවැනි වටයේ දී තරමක් පසු බසින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වැනි වටයේ දී නැවත වතාවක් තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 4කින් පසු පසින් සිටිමින් තරගය අවසන් කරනවා. අවසන් ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 58-54ක් ලෙසයි.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා නොගත් බොට්ස්වානා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වී ඇත්තේ 2007 වසරේ දී සහ 2011 වසරේ දී පමණයි. එම වසර ද්විත්වයේත් ඔවුන් ලබා ගන්නේ පිළිවෙළින් 10 වැනි සහ 13 වැනි ස්ථානයයි.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 24 වැනි ස්ථානයේ රැඳී සිටින බොට්ස්වානා කණ්ඩායම වඩාත් ප්‍රචලිත වන්නේ ආක්‍රමණශීලී සහ වේගවත් ව ඉලක්කයන් කරා ළඟා වෙන ක්‍රීඩිකාවන් රැසකගෙන් සමඟින් සමන්විත කණ්ඩායමක් ලෙසයි. ශ්‍රී ලංකාව සමඟ පැවති පුහුණු තරගවල දී ද ඔවුන් ඒ බැව් මනාව සටහන් කළා. එබැවින් ඔවුන් සමඟින් ලත් අත්දැකීම් මෙම ලෝක කුසලානය සඳහා ද උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වනු ඇත.

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය

ලෝක කුසලාන තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් පළපුරුදු ක්‍රීඩිකාවන් බහුතරයකගෙන් සමන්විතයි. ඒ අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායිකාව වන ගයංජලී අමරවංශ සහ උප නායිකා දුලංගි වන්නිතිලකට අමතර ව චතුරංගි ජයසූරිය, ගයනි දිසානායක සහ තර්ජනී ශිවලිංගම් ද මෙම කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර තරග අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් ලෙසින් හැඳින්වෙනවා.

මේ අතරින් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ම පසුගිය ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කර ඇති බැවින් ඔවුන්ගේ අත්දැකීම් ද මෙම තරගාවලියට වඩාත් උපකාරී වනු නියතයි.

ඊට අමතරව ජාත්‍යන්තර අත්දැකීම් බහුලව නොලැබුණත් ලත් අවස්ථාවල දී තම දක්ෂතා කණ්ඩායම හා මුහු කළ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ද මෙම කණ්ඩායම සතුයි. ඒ  අතර සේමිණි අල්විස්, තිසාලා අල්ගම, භාෂිනි ද සිල්වා, මල්මි හෙට්ටිආරච්චි, රශ්මි පෙරේරා, කෞෂල්‍යා විජේසූරිය සහ ශානිකා පෙරේරා ද වෙනවා.

ඒ අනුව විශ්වසනීය දක්ෂතාවලින් හෙබි ඔවුන් මෙන් ම පළපුරුදු ක්‍රීඩිකාවන් ද සමඟින් වන මනා සංකලනයකින් යුත් කණ්ඩායමක් ලෝක කුසලාන පිටියේ දී දැක ගැනීමට හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා අපේ බලාපොරොත්තුවයි.

එමෙන් ම කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙසින් කටයුතු කරන තිලකා ජිනදාස සතු දක්ෂතා ද මෙම කණ්ඩායමට වඩාත් වැදගත් වනු ඇත. ඔලිම්පික් තරග නියෝජනය කළ මලල ක්‍රීඩිකාවක් ලෙසත් සහ දැල්පන්දු ජාත්‍යන්තර පුහුණුකාරිණියක ලෙසත් ලත් අත්දැකීම් මෙම තරගාවලියේ දී තරග පාලනයේ දී වඩාත් උපයෝගී කර ගනිතැයි සිතේ.

එමෙන් ම කාලයක් පුරා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමඟින් සිටීම නිසා එහි පණ-නළ ගැසෙන ආකාරය තිලකා තරම් දන්නා වෙනත් කෙනෙක් නැති බවයි අපගේ විශ්වාසය. ඊට කනිෂ්ඨ ක්‍රීඩිකාවක් සමඟින් වැඩි සේවයක් කරන සහාය පුහුණුකාරිණිය දීපි ප්‍රසාදිගේ ද සහයෝගය ද කණ්ඩායමේ ඉලක්කයන් කරා යෑමේ දී වඩාත් වැදගත් වනු නියතයි.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම: ගයංජලී අමරවංශ (නායිකාව C/WA), දුලංගි වන්නිතිලක (උප නායිකාව GA/WA), තිසාලා අල්ගම (GS/GK), සේමිණී අල්විස් (GA/GS), ශානිකා පෙරේරා (GK/GS), රශ්මි පෙරේරා (WA/GA), මල්මි හෙට්ටිආරච්චි (WD/GD), ගයනි දිසානායක (GK/GD), චතුරංගි ජයසූරිය (GD/GK), කෞෂල්‍යා විජේසූරිය (WD/GD), භාෂිණී ද සිල්වා (GD/WD) සහ තර්ජිනී සිවලිංගම් (GS).

තිලකා ජිනදාස (ප්‍රධාන පුහුණුකාරිණිය), දීපි ප්‍රසාදි (සහාය පුහුණුකාරිණිය)

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<