දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

දැල්පන්දු ලෝක කුසලානය 2023

583
Final 12 player Sri Lanka squad Netball

මෙම වසරේ පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් නම් කර තිබෙනවා.

එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර මෙවර ලෝක කුසලානය ජූලි 28 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

දැල්පන්දු සම්මේලනය විසින් මීට පෙර ලෝක කුසලානය සඳහා මූලික සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මහත්මිය සහ එන්. ප්‍රසාදි මහත්මිය යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළා.

මීට පෙර නම් කළ 16 දෙනාගේ සංචිතයේ සිටි ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න සහ තරුෂි නවෝද්‍යා යන ක්‍රීඩිකාවන්ට අවසන් සංචිතය මඟ හැරී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා තර්ජනී ශිවලිංගම්ගේ සහභාගීත්වය තරමක ප්‍රශ්නාර්ථයක් වී ඇති අතර යම්හෙයකින් ඇයට සංචිතයට එක් වීමට නොහැකි වූවහොත් ඉමේෂා පෙරේරා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

මෙම සංචිතය දැල්පන්දු තේරීම් කමිටුව විසින් තෝරා ඇති අතර දමයන්ති ජයතිලක සභාපතිත්වය දරන එම තේරීම් කමිටුවේ තිසංගි කොඩිතුවක්කු සහ චාමිකා ජයසේකර සාමාජිකත්වය දරනවා.

ලෝක කුසලානය සඳහා නම් කළ අවසන් සංචිතය: තිශලා අලගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක. මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා.

අතිරේක ක්‍රීඩිකාවන්: ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, තරුෂි නවෝද්‍යා පෙරේරා.

2023 දැල්පන්දු ලෝක කුසලානයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<