පැරාලිම්පික් වීරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ත්‍යාගයක්

277

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක්‍රීඩකයන් වන දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හට ත්‍යාග මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය තහවුරු කරමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම ක්‍රීඩකයන් දෙදෙනාට සුබ පතන බවත් සහ ඔවුන්ගේ දක්ෂතාවය ඇගයීමට ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කළ බවයි.

F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා සහභාගී වූ දිනේෂ් මීටර් 67.79ක දස්කමක් දක්වමින් ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර පැරාලිම්පික් පදක්කම් ද්විත්වයක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද ඉතිහාසගත වුනා.

සමිත දුලාන් F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම ඉසව්වේ මීටර් 65.61ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් එම කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය තෙවරක්ම අලුත් කරමිනුයි.

මෙම දස්කම් පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක්වූ හොඳම දස්කම් ලෙස සටහන් වූ අතර එමගින් මෙරට මලල ක්‍රීඩාව නැවත වරක් ජාත්‍යන්තර තලයේ අවධානයට ලක්වීම විශේෂත්වයක්.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ දස්කම් අගයමින් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ද මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු සූදානම් කරමින් ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<