කවීෂා සහ මල්ෂා T20 පිටිය කළඹයි

NSL Women's T20 Tournament 2024

338
NSL Women's T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දැක් වූවන් අතර පෙරමුණ ගැනීමට කවීෂා දිල්හාරි සහ මල්ෂා ෂෙහානි සමත් වූවා.  

Kandy Women කණ්ඩායමේ නායිකාව වන කවිෂා දිල්හාරි, තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් අතුරින් සහ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතුරින් පළමු වැනියා වෙමින් ද සහ Dambulla Women කණ්ඩායමේ මල්ෂා ෂෙහානි තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතුරින් පළමු වැනියා වීමට ද සමත් වූවා.  

මේ අතර මීට පෙර පැවැති Women’s National Super League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසින් ලැයිස්තු ගත වූයේ කවීෂා දිල්හාරි.  

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 4ක් සහභාගී වූ අතර එහි දී එක් එක් කණ්ඩායම් ලබා ගත් ප්‍රසාද ලකුණු මත අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැණුනා. එහි දී Colombo Women කණ්ඩායම, Dambulla Women කණ්ඩායම සහ Kandy Women කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගනිමින් සම ස්ථානවලට පත් වූවා.  

ඒ අනුව එක් එක් කණ්ඩායම ලබා ගත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තොරා ගැනීම සිදු කෙරුණ අතර ලකුණු 0.439ක් ලබා සිටි Colombo Women කණ්ඩායම ද සහ ලකුණු 0.284ක් ලබා සිටි Dambulla Women කණ්ඩායම ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

එම තරගය අද (20) කොළඹ Colts පිටියේ දී පැවැත්වීමට නියමිතයි. 

පෙර පැවැති Women’s National Super League සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ද අවසන් මහා තරගය සඳහා මෙම කණ්ඩායම් 2 ම සුදුසුකම් ලබා ගත් අතර එහි දී Dambulla Women කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගත්තා.  

තරගාවලියේ මෙතෙක් ගමන් මඟ 
  Team 1  Team 2  Results 
1  Galle Women  Dambulla Women  Dambulla Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
2  Colombo Women  Kandy Women  Kandy Women කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
3  Dambulla Women  Colombo Women  Colombo Women කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  
4  Kandy Women  Galle Women  Kandy Women කණ්ඩායමට ලකුණු 6ක ජයක්.  
5  Galle Women  Colombo Women  Colombo Women කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  
6  Kandy Women  Dambulla Women  Dambulla Women කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව 

තරගාවලියේ තුන් ඉරියව්වෙන් ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාව වූයේ Kandy Women කණ්ඩායමේ නායිකාව වූ කවීෂා දිල්හාරි.  

ඇය තරග 3ක ඉනිම් 3ක දී පිතිකාරිනියක් ලෙසින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 178ක් වූ අතර එය මෙම තරගාවලියේ පිතිකාරිනියක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. මෙම ලකුණු අතර සෑම කණ්ඩායමකට ම එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුලත් වීම කැපී පෙණුනා.  

ඇය Colombo Women කණ්ඩායමට එරෙහිව ලකුණු 68ක් ලබා ගන්නා ලද අතර එය මෙම තරගාවලියේ දී ක්‍රීඩිකාවක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. ඊට අමතර ව ඇය Galle Women කණ්ඩායමට එරෙහිව ලකුණු 58ක් සහ Dambulla Women කණ්ඩායමට එරෙහිව ලකුණු 52ක් ලබා ගත්තා. 

පන්දු යවන්නියක ලෙසින් ඇය කඩුලු 5ක් ලබා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ද 5 වැනි ස්ථානය තහවුරු කර ගත්තා. පන්දු යවන්නියක ලෙසින් ඇයගේ ඉහළ ම දක්ෂතාව වූයේ Colombo Women කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට දවා ගන්නා ලද කඩුලු 2යි. ඊට අමතර ව ඇය Galle Women කණ්ඩායමට එරෙහිව ලකුණු 30කට කඩුලු 2ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා.  

දකුණත් පිතිකාරිනියක් දකුණතින් පිට දඟපන්දු යවන්නියක්  වන කවීෂා දිල්හාරි තවමත් 23 වැනි වියේ පසුවෙන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවක්. ඇය මේ වෙද්දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 18කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 333ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට සහභාගී වෙමින් ලකුණු 219ක් ද ලබා සිටිනවා.  

පන්දු යැවීමේ දී එක්දින ජාත්‍යන්තර කඩුලු 11ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 29ක් ඇය සතුයි.  

ඇය රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ ක්‍රීඩිකාවක්.  

තරගාවලියේ දක්ෂතම පිතිකාරිනියන් 

තරගාවලියේ වැඩිම ලකුණුලාභී ක්‍රීඩිකාව වූ කවීෂා දිල්හාරි එහි පළමු වැනියා ලෙසින් වැජඹෙද්දී 2 වැනි ස්ථානයට පත් වෙන්නේ Dambulla Women කණ්ඩායමේ නායිකා හර්ෂිතා සමරවික්‍රම. ඇය මෙම තරගාවලියේ දී තරග 3ක දී ලකුණු 104ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කියනවා.   

මේ ලකුණු අතරට Galle Women කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 58ක් ද ඊට ඇතුලත්.  

25 වැනි වියේ පසුවෙන වමත් පිතිකාරිනියක් වන හර්ෂිතා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අයෙක්. ඇය මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 26ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 522ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 48ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 929ක් ද ලබා සිටිනවා.  

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකාරිනියන් අතුරින් තෙවැනි ස්ථානය හිමි වෙන්නෙ Colombo Women කණ්ඩායමේ නායිකා හසිනි පෙරේරා වෙතයි. ඇය මෙම තරගාවලියේ තරග 3ක දී ලකුණු 100ක් ලබා ගනිමින් එම ස්ථානයට පත් වෙනවා.  

ඇයගේ මෙම ලකුණු අතරට Dambulla Women කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 53ක් ද ඇතුලත්. මැදි පෙළින් පිටියට පිවිසෙන වමත් පිතිකාරිනියක් වන හසිනි පෙරේරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 42ක දී ලකුණු 611ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 65ක දී ලකුණු 619ක් ද ලබා සිටින ක්‍රීඩිකාවක්.  

මේ අතර මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය Galle Women කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක දී ලකුණු 76ක් ලබා ගත් නිලක්ෂි ද සිල්වා ද සහ 5 වැනි ස්ථානය Dambulla Women කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක දී ලකුණු 66ක් ලබා ගත් කෞෂිනි නුත්‍යාංගා ද ලැයිස්තු ගත වෙනවා.  

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නියෝ 

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය වූයේ Dambulla Women කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු සහ පා දඟ පන්දු යවමින් දක්ෂතා දැක් වූ මල්ෂා ෂෙහානි. 

ඇය මෙම තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 7ක් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු අසුනට එක් වෙනවා. එහි දී Galle Women කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක්,  Colombo Women කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක් සහ Kandy Women කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක් ලෙසින් දවා ගැනීමට ඇය සමත් වෙනවා.  

ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරගයකට සහභගී වී ඇති අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12කට එක් වී තිබෙනවා.  

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමි වෙන්නේ Galle Women කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන ඔෂදී රණසිංහ සහ Colombo Women කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන තාරිකා සෙව්වන්දියි. ඔවුන් දෙදෙනා ම කඩුලු 6 බැගින් දවා ගනිමින් සම අසුන් හිමි කර ගන්නවා.  

මේ දක්ෂතා අතුරින් ඔෂදී රණසිංහ මෙම තරගාවලියේ මෙතෙක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු කර ගැනීමට සමත් වීම කැපී පෙණෙනවා. ඒ ඇය Kandy Women කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද කඩුලු 4යි. ඇය මේ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ලකුණු 18ක් පමණයි.  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන ඔෂදී රණසිංහ මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 37කට සහභාගී වෙමින් ලකුණු 345ක් සහ කඩුලු 35ක් ද, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66කට සහභාගී වෙමින් ලකුණු 404ක් සහ කඩුලු 58ක් ද ලබා සිටින ක්‍රීඩිකාවක්.  

Colombo Women කණ්ඩායමේ තාරිකා සෙව්වන්දි මේ වන විට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා එක් වෙමින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක සහභාගී වී සිටිනවා.  

ඉන් අනතුරු ව මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ Kandy Women කණ්ඩායමේ අචිනි කුලසූරිය සහ කවීෂා දිල්හාරි. ඔවුන් දෙදෙනා කඩුලු 5ක් බැගින් දවා ගනිමින් මෙම ලැයිස්තුවේ සම අසුන් ගන්නවා.  

33 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන අචිනි කුලසූරිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් එක්දින ජාත්‍යන්තර තරග 19කට ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 25කට ද සහභාගී වී ඇති ක්‍රීඩිකාවක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<