ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සාර්ථක තරග සංචාරයක

Netball World Cup 2023

406
Sri lanka netball team had a successful tour in botswana

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත 2023 දැල්පන්දු ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම බොට්ස්වානා හිදි සාර්ථක තරග සංචාරයක නිරත වුනා. 

ශ්‍රී ලංකා කණ්ඩායම දින දහයක් පුරා සිදු කළ බොට්ස්වානා සංචාරයේ දී තරග 4කට සහභාගී වූ අතර ඉන් තරග දෙකක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. 

මෙහි දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බොස්ට්වානා ජාතික දැල්පන්දු කණ්ඩායම සමඟ පැවැත්වුණු අතර එම තරගයේ දී ලංකාවට උරුම වුනේ අවාසනාවන්ත පරාජයක්. 

මෙම තරගයේ පළමු කාර්තු තුන තුළ දී (12-19, 16-13, 13-15) තරගය දෙපිළට ම දෝලනය වෙමින් පැවති නමුත් සිව්වැනි කාර්තුවේ දී (10-23) බොට්ස්වානා කණ්ඩායම විසින් තරගය සිය ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වුනා. 

මෙම තරගයේ මුල් කාර්තු තුන නිමා වන විට ශ්‍රී ලංකාව බොට්ස්වානා කණ්ඩායමට වඩා ලකුණු 6ක් පමණක් පිටුපසින් සිටියත්, සිව්වැනි කාර්තුවේ දී එම ලකුණු පරතරය 19ක් දක්වා ඉහළට එසවුණු අතර අවසන් ලකුණු තත්වය සටහන් වුනේ 51-70ක් ලෙසයි. 

“මට සියලු ම ක්‍රීඩිකාවන් අත්හදා බලන්න අවශ්‍ය වුනා. ඒ වගේම ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩිකාවන් නැවුම් ව තබා ගන්නත් මට අවශ්‍ය වුනා. මෙම සංචාරයේ දී මූලික වශයෙන් අවධානය යොමු වුනේ දැඩි ප්‍රතිවාදියකු සමඟ හොඳ තරග පුහුණුවක් සහ අත්දැකීමක් ලබා ගැනීමටයි.” 

බොස්ට්වානා සමඟ පැවැත්වුණු පළමු තරගයේ සිව්වැනි කාර්තුවේ දී තරගය ශ්‍රී ලංකාවෙන් තරමක් ඈතට ගියත් සියලු ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අවකාශය ලබා දීමෙන් සිය අරමුණ සාක්ශාත් කර ගත් බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකාරිණි තිලකා ජිනදාස මහත්මිය විසින් සඳහන් කළා. 

මේ අතර එම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් බොට්ස්වානා පොලිස් කණ්ඩායම සමඟ තරගයකට ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 70-36ක් ලෙස පහසු ජයග්‍රහණයක් (16-9, 17-14, 17-7, 20-6 ලෙස කාර්තු හතර නිමා වුනා.) ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එමෙන්ම මෙම තරග සංචාරයේ තෙවන තරගය බොට්ස්වානා ආරක්ෂක සේවා කණ්ඩායම සමඟින් පැවැත්වුණු අතර එහි දී ද ශ්‍රී ලංකාව ලකුණු 55-53ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. (14-16, 16-12, 9-12, 16-13 ලෙස කාර්තු හතර නිමා වුනා.) 

බොට්ස්වානා සංචාරයේ සිව්වැනි සහ අවසන් තරගය ලෙස නැවත ශ්‍රී ලංකාවට බොට්ස්වානා කණ්ඩායම මුණ ගැසුණු අතර දෙරට අතර පැවැත්වුණු පළමු තරගයටත් වඩා තියුණු අන්දමින් එම තරගය ක්‍රියාත්මක වුනා. කෙසේ වෙතත් නියමිත කාර්තු හතර අවසානයේ ලකුණු 54-58ක් ලෙස බොට්ස්වානා කණ්ඩායම එම තරගයයත් ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි දී ලකුණු 15-13ක් ලෙස පළමු කාර්තුවේ ඉදිරියෙන් සිටිය ද, තරගයේ පළමු අර්ධය නිමා වන විට බොට්ස්වානා කණ්ඩායම ලකුණු 25-29 (දෙවන කාර්තුව 10-16) ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුනා. තෙවන කාර්තුවත් බොට්ස්වානා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර (13-15) එම නිසා ශ්‍රී ලංකාව අවසන් කාර්තුවේ ඉදිරියට පැමිණීමට සමත් වුවත් (16-14) එය ජයග්‍රහණයක් කරා යාමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ පසු වන අතර, බොට්ස්වානා කණ්ඩායම රැඳී සිටින්නේ 24 වැනි ස්ථානයේයි. නමුත් බොට්ස්වානා වැනි අප්‍රිකානු රටවල් සමඟ ක්‍රීඩා කිරීම ආසියාකරයේ දැල්පන්දු කණ්ඩායම්වලට තරමක අභියෝගයක්. එම නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග සංචාරයේ දී දැක්වූ දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය හැකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් 2023 ලෝක කුසලානයේ දී සහභාගී වන පළමු තරගය අද රාත්‍රි 9.30ට ජැමෙයිකාව සමඟ පැවැත්වීමට නියමිතයි. 

එම තරගයේ තොරතුරු සවිස්තරාත්මක ව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<