මල්ෂ සහ දිනුර ශ්‍රී ලංකාව නැවත ජය මාවතට ගෙන යයි

Sri Lanka U19 tour of Pakistan 2023

410
Sri Lanka Under-19s tour of Pakistan 2023

ශ්‍රී ලංකා සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති සිව්වැනි යොවුන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (29) සමත් වුනා.

ඒ අනුව තරග 5කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-2ක් ලෙසින් සම කිරීමට ද ඔවුන් සමත් වුනා.

පළමු තරගය, Karachi, 22 ඔක්තෝබර් 2023

  • කාසියේ වාසිය – පාකිස්තානය
  • ශ්‍රී ලංකාව – 309/10 (49.4), පාකිස්තානය 251/10 (45.4)

ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්.

දෙවැනි තරගය, Karachi, 24, ඔක්තෝබර් 2023

  • කාසියේ වාසිය – පාකිස්තානය
  • පාකිස්තානය – 254/10 (46.5), ශ්‍රී ලංකාව 195/10 (43.4)

පාකිස්තානයට ලකුණු 59ක ජයක්.

තෙවැනි තරගය Karachi, 27, ඔක්තෝබර්  2023

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 289 (50), පාකිස්තානය – කඩුලු 4ක් දැවී 293

පාකිස්තානයට කඩුලු 6ක ජයක්.

සිව්වැනි තරගය Karachi, 29, ඔක්තෝබර් 2023

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
  • පාකිස්තානය – සියලුම දෙනා දැවී 186 (43.1) Shahzaib Khan 80, Saad Baig 45, Mohammad Ibtisam නොදැවී 18, රුවිශාන් පෙරේරා 2/34, මල්ෂ තරුපති 4/17
  • ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී 189 (40.4) රුසඳ ගමගේ 46, දිනුර කළුපහන 61, මල්ෂ තරුපති නොදැවී 20, Ubaid Shah 2/41, Aftab Ahmed 3/23

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.

ශ්‍රී ලංකාව මෙම තරගයේ දී කවීෂ පියුමාල් වෙනුවට විශ්ව ලංකා කණ්ඩායමට එක් කර ගනිමින් තරග වැදුණ අතර පාකිස්තානය පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), රුවිශාන් පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, රුසඳ ගමගේ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, විහස් තෙව්මික, ගරුක සංකේත්, විශ්ව ලංකා.
  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Saad Baig (නායක සහ කඩුලු රකින්නා), Shamyl Hussain, Shahzaib Khan, Riaz Ullah, Haroon Rasheed,  Arafat Minhas, Naveed Ahmed Khan, Ahmed Hussain, Mohammad Ibtisam, Ubaid Shah, Aftab Ahmed.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී නායකයාට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 186ක් ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 20ක් ව තිබිය දී දවා ගනිමින් ශ්‍රී ලංකාව තරගයට කදිම ආරම්භයක් ගත්ත ද එය දෙවැනි කඩුල්ලේ දී සිදු කර ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ.

ඒ ලද අවසරයෙන් ආරම්භක පිතිකරු Shahzaib Khan සහ නායක Saad Baig එක් ව දෙවැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් එක් කළා.

එහි දී  Shahzaib Khan පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් රැස් කළ අතර නායක Saad Baig ලබා ගත් ලකුණු සංඛ්‍යාව 45ක්. ඔහු ඊට පන්දු 53ක් වැය කළ අතර හතරේ පහර 3ක් ද ඊට ඇතුළත් කළා.

ඔවුන් දෙදෙනාට අමතර ව පසුපෙළින් පිටියට පිවිසි Mohammad Ibtisam පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 25ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුනා. එහි දී වඩාත් දක්ෂතා දැක්වූයේ පා දඟපන්දු යවන මල්ෂ තරුපති. ඔහු පන්දු 37ක් පමණක් යවමින් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතර ව රුවිශාන් පෙරේරා ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත් අතර විහස් තෙව්මික, දිනුර කළුපහන සහ විශේන් හැළඹගේ කඩුල්ලක් බැගින් දවා ගත්තා.

ලකුණු 187ක් හඹා යන ඉනිමක පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය අවසන් වීමට තවත් පන්දු 56ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දිනුර කළුපහන. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

ඊට අමතරව රුසඳ ගමගේ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4ක් ලකුණු 42කට දැවී ගොස් තිබිය දී පිටියේ එක් වූ රුසඳ ගමගේ සහ දිනුර කළුපහන 5 වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රාහී මායිමට කැඳවා ගෙන ගියා.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව ජයග්‍රාහී යශ්ටිය අතට ගන්නේ මල්ෂ තරුපති සහ ශාරුජන් ශම්මුගනාදන්. ශාරුජන් ශම්මුගනාදන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ලබා ගත්තා.

මල්ෂ තරුපති තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කරන තුරු ම කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා. ඔහු තරගය නතර කෙරෙන විට පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී ආරම්භක පන්දු යවන්නෝ යුගල දැක් වූ දක්ෂතා කැපී පෙනුණා. ඒ අනුව Aftab Ahmed ලකුණු 23කට කඩුලු 3ක් ද සහ Ubaid Shah ලකුණු 41කට කඩුලු 2ක් ද දවා ගත්තා.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 5 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 31 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<