පුලිඳුගෙන් විශිෂ්ට ඉනිමක්

Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

1601

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු පුලිඳු පෙරේරාගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 58ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (22) සමත් වුනා. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, රවිශාන් ද සිල්වා, විශේන් හැළඹගේ, දිනුර කළුපහන, මල්ෂ තරුපති, ශාරුජන් ෂන්මුගනාදන්, විහස් තෙව්මික, විශ්ව ලහිරු, රුවිශාන් පෙරේරා, ගරුක සංකෙත්. 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Saad Baig (නායකයා සහ කඩුලු රකින්නා), Shamyl Hussain, Tayyab Arif, Mohammad Ammar, Hamza Nawaz, Arafat Minhas, Ahmed Hussain, Mohammad Ibtisam, Naveed Ahmed Khan, Muhammad Ismail, Ali Raza.   

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 309ක් ලබා ගත්තා. එම ඉනිමට පුලිඳු පෙරේරා එක් කළ ලකුණු සංඛ්‍යාව 156ක්.  

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඔහු සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට එක් කර තිබුණා.  

නායක සිනෙත් ජයවර්ධන (0) සහ පුලිඳු පෙරේරා එක් ව ආරම්භ කළ ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 2කින් නිමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. ඊට පසුව පිටියට පිවිසි රවිශාන් ද සිල්වා නායකයාගේ වගකීම ද දරමින් දෙවැනි කඩුල්ලට පුලිඳු හා එක් වෙමින් ලකුණු 136ක සබඳතාවක් එක් කළා.  

රවිශාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 30ක්. ඔහු ඒ සඳහා පන්දු 74ක් වැය කළ අතර ඊට එක් කර තිබුණේ එක් හතරේ පහරක් පමණයි.  

අනතුරුව පුලිඳු තෙවැනි කඩුල්ල සඳහා ද ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. ඒ විශේන් හැළඹගේ සමඟ එක් වෙමින්. විශේන් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.  

පුලිඳු තම ඉනිම හැර යද්දී සිව්වැනි කඩුල්ල සඳහා ද ලකුණු 48ක සබඳතාවක් එක් කළා. ඒ දිනුර කළුපහන සමඟ එක් වෙමින්. දිනුර පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.  

අනතුරුව දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතර ශාරුජන් ෂන්මුගනාදන්ගේ නම ඉදිරියෙන් කියැවෙනවා. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 24ක් ලබා ගත් අතර ඊට අමතරව විශ්ව ලහිරු ලකුණු 14ක් ලබා ගත්තා. 

මල්ෂ තරුපති (7), විහස් තෙව්මික (7), රුවිශාන් පෙරේරා (0) සහ ගරුක සංකේත් (1) අඩු ලකුණුවලට සීමා වුනා.  

කඩුලු දවා ගැනීමේ දී Naveed Ahmed Khan ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත් අතර Mohammad Ibtisam, Arafat Minhas සහ Ahmed Hussain කඩුලු 2 බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන යොවුන් ක්‍රීඩකයන්ගේ ආරම්භක කඩුලු 4 පන්දුවාර 15ක් තුළ ලකුණු 60කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වුනා.  

නමුත් ඊළඟ කඩුල්ලේ දී වාර්තා කළ ලකුණු 153ක සබඳතාව හේතුවෙන් පාකිස්තාන යොවුන් ඉනිම සියලුම දෙනා දැවී අවසන් වන විට ලකුණු 251ක් ලබා තිබුණා.   

එම ඉනිමේ ද ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Shamyl Hussain ලකුණු අතරට පිවිසීම විශේෂත්වයක් වුනා. ඔහු පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 98ක් ලබා ගත්තා.  

අනතුරුව පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ  Arafat Minhas. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා. පාකිස්තාන ඉනිම සටන්කාමී තත්ත්වයට පත් කළේ ඔවුන් දෙදෙනායි. 

කෙසේ වෙතත් පාකිස්තාන ඉනිමේ පිතිකරුවන් 6 දෙනෙක් ම තනි ඉලක්කම්වලට සීමා කරමින් පන්දු යැවීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි දී කඩුලු ලබා ගැනීමේ දී සුවිශේෂි දක්ෂතා දැක්වූවේ දිනුර කළුපහන. ඔහු ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා.  

ඊට අමතරව ගරුක සංකේත් ද ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. ඔවුන් දෙදෙනාට අමතරව රුවිශාන් පෙරේරා කඩුලු 2ක් සහ සිනෙත් ජයවර්ධන කඩුල්ලක් ද දවා ගත්තා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 309 (49.4): පුලිඳු පෙරේරා 156, රවිශාන් ද සිල්වා 30, විශේන් හැළඹගේ 25, ශාරුජන් ෂන්මුගනාදන් 24, Mohammad Ibtisam 2/41, Arafat Minhas 2/61, Naveed Ahmed Khan 3/52, Ahmed Hussain 2/52 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 251 (45.4): Shamyl Hussain 98, Arafat Minhas 84, ගරුක සංකේත් 3/42, දිනුර කළුපහන 4/32, රුවිශාන් පෙරේරා 2/51 

ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්.  

තරග 5කින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි එක්දින තරගය මේ මස 24 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<