හසිනිගේ උත්සාහය අයර්ලන්තය හමුවේ හෑල්ලු වේ

185

පිතිකරණයේ දී ම මෙන්ම පන්දු යැවීමේ දී ද දැක්වූ දුර්වලතා හේතුවෙන් අද (08) ඇන්ටිගුවා කූලිඩ්ගේ ක්‍රිකට් පිටියේ දී පැවති ශ්‍රී ලංකා – අයර්ලන්ත කාන්තා විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය.

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග මේ දිනවල ක්‍රියාත්මක අතර මෙම තරගය ද ඊට අයත් ය. මෙම තරගයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පුහුණු තරග දෙකකට සහභාගී වූ තරග දෙකෙන්ම ලැබුවේ පරාජයන් ය. මීට පෙර පැවති තරගයේ දී ඔවුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට පරාජය විය.

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසරණ වේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති විස්සයි …

කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළාය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 85ක් පමණි. එම ලකුණු ප්‍රමාණය කඩුලු දෙකක් පමණක් දැවී ලබා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 40ක් ඉතිරිව තිබිය දී ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අයර්ලන්ත ක්‍රීඩිකාවන්ට තරගයක් තිබුණේ හසිනි පෙරේරා සමඟ පමණි. ඇය පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා ය. පළමු කඩුල්ල ලකුණු 9 දී අහිමි වීමෙන් පසු පිටියට පිවිසි හසිනි නායිකා චමරි අතපත්තු සමග එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් ද ගොඩ නැගූහ.

චමරි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 14කි. ඒ වෙනුවෙන් ඇය පන්දු 20කට මුහුණ දුන් අතර හතරේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය. ඇයගේ දැවී යෑමෙන් අනතුරුව ශෂිකලා සිරිවර්ධන පිටියට එක් වූ අතර ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12කි. ඒ වෙනුවෙන් ඇයට පන්දු 18ක් පිටියේ රැඳී සිටීමට සිදු විය. ශෂිකලා සහ හසිනි අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 26කි.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලකුණු 66 දී අහිමි වූ අතර ඉතිරි කඩුලු 7 ලකුණු 19ක් ඇතුළත බිඳ හෙළීමට අයර්ලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ. චමරි, හසිනි සහ ශෂිකලාට අමතරව අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාවට ළඟා වීමට නොහැකි වූහ.

“ශ්‍රේණිගත කිරීම් කිසිවක් තරග දිනන්න අදාළ වෙන්නේ නෑ” – චමරි අතපත්තු

කඩුලු දවා ගැනීමේ දි ලාරා මාරිට්ස් එක් ලකුණකට කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ යටිපෙළ සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා ය. ඊට අමතරව චෙලිස්ටේ රැක් කඩුලු 2ක් දවා ගත්තා ය.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී ම ලබා ගැනීමට උදේශිකා ප්‍රබෝධනී සමත් වූවාය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක් කරමින් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ තරගයට අවතීර්ණ වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තඹේකට මායිම් නොකරමිනි.

එහි දී ආරම්භක පිතිකාරිනි ක්ලාරි ශිලින්ටන් පන්දු 39ක දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා ය. ගාබි ලිවිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12කි.

ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන විට නායිකා ලෝරා ඩෙලනි පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා සිටියා ය. ඇය සහ ක්ලාරි අතර තෙවැනි කඩුල්ලට නොදැවුණ සබඳතාව ලකුණු 41කි.  

ඩිල්රුවන්ගෙන් කඩුලු 5ක්; තරගය තීරණාත්මකයි

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව අද (07) ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ගත් උත්සාහය …

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනි සහ ඕෂදී රණසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්හ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 85 (18.2): හසිනි පෙරේරා 31, චෙලිස්ටේ රැක් 2/16, ලාරා මාරිට්ස් 3/01

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 2ක් දැවී 86 (13.2): ක්ලාරි ශිලින්ටන් නොදැවී 50, ලෝරා ඩෙලනි නොදැවී 15

මේ අතර පැවති අනෙකුත් පුහුණු තරගවල දී ඉන්දීය කාන්තාවෝ එංගලන්තයට එරෙහිව ලකුණු 11ක ජයග්‍රහණයක් ද, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ නවසිලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට සමත් වූහ.

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරගය මේ මස 11 වැනිදා එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇත. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<