සංචාරකයන්ට දිනක නිවාඩුවක්; පාකිස්තානයට කඩුලු 9ක ජයක්

3695

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති පළමු සහ එක ම සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 9ක අමිහිරි පරාජයකින් තරග සංචාරය ආරම්භ කිරීමට සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩයන්ට සිදු වුනා.

යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයක් සහ යොවුන් එක්දින තරග 5ක් මෙම තරග සංචාරයට ඇතුළත්.

Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් හිරාන් ජයසුන්දර සහ මනුල කුලරත්න ද, පාකිස්තානය වෙනුවෙන් Aimal Khan, Hamza Nawaz සහ Naveed Ahmed Khan ද පළමු වරට යොවුන් එක්දින වරම් දිනා ගැනීමට සමත් වූවා.

  • ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, රවිශාන් ද සිල්වා, රුසඳ ගමගේ, මල්ෂ තරුපති, හිරාන් ජයසුන්දර (කඩුලු රකින්නා), විහස් තෙව්මික, විශ්ව ලහිරු, දිනුර කළුපහන, මනුල කුලරත්න, රුවිශාන් පෙරේරා.
  • පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Saad Baig (නායක සහ කඩුලු රකින්නා), Azan Awais, Shahzaib Khan, Wahaj Riaz, Hamza Nawaz, Arafat Minhas, Ali Asfand, Naveed Ahmed Khan, Mohammad Ibtisam, Muhammad Ismail, Aimal Khan

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන යොවුන් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් කඩුලු 9ක් දැවී ලකුණු 433ක් ලබා ගත්තා.

පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් වූ Azan Awais සහ Shahzaib Khan එක් ව පළමු කඩුල්ලට ලකුණු 228ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙහෙසකර ආරම්භයක් ලබා දුන්නා.

එහි දී Azan Awais පන්දු 221කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 104ක් ද සහ Shahzaib Khan පන්දු 276කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 161ක් ලබා ගත්තා.

ඊට අමතරව නායක Saad Baig පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මල්ෂ තරුපති ලකුණු 75කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව රුවිශාන් පෙරේරා සහ විහස් තෙව්මික කඩුලු 2ක් බැගින් දවා ගත් අතර මනුල කුලරත්න සහ විශ්ව ලහිරු කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 204ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පුලිඳු පෙරේරා. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා.

ඊට අමතරව නායක සිනෙත් ජයවර්ධන පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නා අතර මල්ෂ තරුපති පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ හිරාන් ජයසුන්දර පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.

පන්දු යැවීමේ දී Aimal Khan සහ Mohammad Ibtisam කඩුලු 3 බැගින් දවා ගන්නවා.

ලකුණු 229ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 236ක් ලබා ගන්නවා. ඒ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ අර්ධ ශතක ඉනිම් සමඟිනුයි.

පළමු ඉනිමේ දී මැදි පෙළින් පිටියට පිවිසි පුලිඳු පෙරේරා මෙම ඉනිමේ දී ආරම්භක පිතිකරු ලෙසින් එක් වෙමින් පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වෙනවා.

නායක සිනෙත් ජයවර්ධන ද පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52ක්.

ඊට අමතරව විශ්ව ලහිරු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද, රවිශාන් ද සිල්වා පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ද සහ රුවිශාන් පෙරේරා පන්දු 17ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Muhammad Ismail, Naveed Ahmed Khan, Mohammad Ibtisam සහ Ali Asfand කඩුලු 2 බැගින් දවා ගන්නවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 8ක අවශ්‍යතාවක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී යමින් එම ඉලක්කය සපුරා ගන්නේ තරගයේ තවත් දිනයක් ඉතිරි කර ගනිමින්.

දවා ගත් එක ම කඩුල්ලේ හිමිකාරීත්වය විශ්ව ලහිරු සතු වුනා.

පාකිස්තාන 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 121.3ක දී කඩුලු 9ක් දැවී 433 (Azan Awais 104, Shahzaib Khan 161, Saad Baig 68, රුවිශාන් පෙරේරා 2/44, විහස් තෙව්මික 2/105, මල්ෂ තරුපති 3/75)

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 67.2ක දී සියලුම දෙනා දැවී 204 (සිනෙත් ජයවර්ධන 38, පුලිඳු පෙරේරා 65, හිරාන් ජයසුන්දර 22, මල්ෂ තරුපති 23, Aimal Khan 3/47, Mohammad Ibtisam 3/37, Arafat Minhas 2/31)

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම පන්දුවාර 60.2ක දී සියලුම දෙනා දැවී 236 (පුලිඳු පෙරේරා 50, සිනෙත් ජයවර්ධන 52, රවිශාන් ද සිල්වා 24, විශ්ව ලහිරු නොදැවි 29, රුවිශාන් පෙරේරා 22, Muhammad Ismail 2/18, Naveed Ahmed Khan 2/61, Mohammad Ibtisam 2/20, Ali Asfand 2/54)

පාකිස්තාන 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම පන්දුවාර 1.4ක දී කඩුල්ලක් දැවී 9 (විශ්ව ලහිරු 1/04)

  • පාකිස්තානයට කඩුලු 9ක ජයක්.
  • තරගයේ වීරයා – Shahzaib Khan (පාකිස්තානය)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරගාවලිය මේ මස 22 වැනිදා Karachi නුවර National Bank ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<