පාකිස්තානයට එරෙහි වන යොවුන් සිංහයෝ

Sri Lanka U 19 Cricket Team Tour of Pakistan 2023

423

සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහ යොවුන් එක්දින ක්‍රිකට් තරග 5කට සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (12) පාකිස්තානය බලා පිටත් වුනා.

මෙම තරගාවලියේ සියලු තරග Karachi, ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • ඔක්තෝබර් 15 සිට 18 දක්වා – පළමු සිව්දින තරගය
  • ඔක්තෝබර් 22 – පළමු එක්දින තරගය
  • ඔක්තෝබර් 24 – දෙවැනි එක්දින තරගය
  • ඔක්තෝබර් 27 – තෙවැනි එක්දින තරගය
  • ඔක්තෝබර් 29 – සිව්වැනි එක්දින තරගය
  • ඔක්තෝබර් 31 – පස්වැනි එක්දින තරගය

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා එක් වෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී 2-1ක් ලෙසින් සහ සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී 1-0ක් ලෙසින් ද ජයග්‍රහණ කරමින්.

පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ ද මෙම තරගාවලිය හා එක් වෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. ඔවුන් මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේ දී බංග්ලාදේශය සමඟ සිව්දින යොවුන් ටෙස්ට් තරගයක්, එක්දින යොවුන් තරග 5ක් සහ විස්සයි විස්ස තරගයකට සහභාගී වෙනවා. එම තරගාවලි ත්‍රිත්වය ම ජයග්‍රහණ කිරීමට පාකිස්තානය සමත් වෙනවා.

එම තරග නියෝජනය කළ ක්‍රීඩකයන් 8 දෙනෙක් ම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන සිව්දින තරගය සඳහා එක් වෙන බවයි පාකිස්තාන ආරංචි මාර්ග පවසන්නේ.

මෙම ක්‍රීඩකයන් එරට පැවැති වයස අවුරුදු 19න් පහළ ජාතික ශූරතාවලියේ දී ද දක්ෂතා අතර සිටි ක්‍රීඩකයෝයි.

ඒ අතරින් තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 280ක් ලබා ගත් Hamza Nawaz, තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 236ක් ලබා ගත් Mohammad Zubair සහ තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 244ක් ලබා ගත් Shahmeer Ali පිතිකරුවන් ලෙසින් පාකිස්තාන කණ්ඩායම හා එක් වෙනවා.

පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායම හා එක් වෙන්නේ තරග 3ක දී කඩුලු 19ක් ලබා සිටින Ahmed Hussain, තරග 3ක දී කඩුලු 15ක් ලබා ගත් Huzaifa Ayub සහ තරග 3ක දී කඩුලු 20ක් ලබා සිටින Naveed Ahmed Khan.

2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය නියෝජනය කළ දකුණතින් වේගපන්දු යවන Ahmed Khan සහ වමතින් දඟපන්දු යවන Ali Asfand ද මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා.

සිව්දින තරගය සඳහා සහභාගී වන පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම: Saad Baig (නායකයා සහ කඩුලු රකින්නා), Ahmed Hussain, Aimal Khan, Ali Asfand, Amir Hassan, Arafat Minhas, Azan Awais, Hamza Nawaz, Huzaifa Ayub, Mohammad Ibtisam, Mohammad Ismail, Mohammad Zubair, Naveed Ahmed Khan, Shahmeer Ali, Shahzaib Khan සහ Wahaj Riaz.

පාකිස්තානයට එරෙහිව සටනට යොමුවන ශ්‍රී ලංකා යොවුන් සංචිතය:

සිනෙත් ජයවර්ධන (නායක)

වමතින් පිත්ත හසුරුවමින් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් දක්ෂතා දක්වන සිනෙත්  කොළඹ, රාජකීය විද්‍යාලය විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

පසුගිය දා මෙරට දී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ද නායකත්වයේ කටයුතු කළේ සිනෙත්.

එහි දී ඔහු සිවුදින තරගවල ඉනිම් 4ක දී ලකුණු 64ක් ලබා ගත්තත් කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. නමුත් ඔහු එක්දින තරගාවලියේ තරග 3ක දී කඩුලු 6ක් සහ ලකුණු 19ක් ලබා ගන්නවා.

සිනෙත් මේ වසර ආරම්භයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති තුන්කොන් තරගාවලිය නියෝජනය කරමින් තරග 4ක දී ශතකයක් සමඟින් ලකුණු 146ක් ලබා ගැනීමට ද සමත් වෙනවා.

සිනෙත් මේ වන විට කොළඹ SSC කණ්ඩායම ද නියෝජනය කරනවා.

මල්ෂ තරුපති (උප නායක)

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කරන මල්ෂ තරුපති තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින් මෙම කණ්ඩායම හා එක් වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී එක්දින තරග 3ක ඉනිම් 2ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 58ක් ද සහ සිව්දින තරගාවලියේ දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 137ක් සහ කඩුලු 6ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වීමට මල්ෂ සමත් වුනා.

මෑත කාලීනව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා සෑම තරගාවලියකට ම එක් වූ මල්ෂ එක්සත් එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් තරගාවලියේ දී තරග 4ක දී ලකුණු 70ක් සහ කඩුලු 3ක් දවා ගැනීමට ද සමත් වෙනවා.

මල්ෂ, කොළඹ මූවර්ස් ක්‍රීඩා සමාජය ද නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

පුලිඳු පෙරේරා

වමතින් පිත්ත හසුරුවන ආරම්භක වමත් පිතිකරු පුලිඳු පෙරේරා, මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් යොවුන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්. ඔහු නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙරට සංචාරයේ දී වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටිමින් විශ්වාසවන්ත පිතිකරුවෙක් වී සිටිනවා.

එක්දින තරගාවලියේ දී ඔහු ශතකයක් සමඟින් ලකුණු 174ක් ලබා ගනිමින් තරගාවලියේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකරු වුනා. එමෙන් ම ඔහු සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 128ක් ද ලබා ගැනීමට සමත් වුනා.

විශේන් හැලඹගේ

කොළඹ සාන්ත පීතර විද්‍යාලය විද්‍යාලය නියෝජනය කරන විශේන් හැළඹගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති තුන්කොන් තරගාවලියට මෙන් ම මෙරට දී පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ද ශ්‍රී ලංකාව නියෝජනය කළා.

මේ දක්වා ඔහු විසින් ක්‍රීඩා කරනු ලැබූ අවසන් ඉනිම් 8 දී ලබා ඇත්තේ ලකුණු 78ක් පමණයි.

රවිශාන් ද සිල්වා

අම්බලන්ගොඩ, පී. ද එස්. කුලරත්න විද්‍යාලය නියෝජනය කරන රවිශාන් ද සිල්වා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ ඉදිරි පෙළින් දක්ෂතා දක්වන පිතිකරුවෙක් ලෙසයි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක් වූ රවිශාන් එක්දින තරගාවලියේ දී අර්ධ ශතකයක් සමඟ ලකුණු 93ක් ද සහ සිව්දින තරගාවලියේ ඉනිම් 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 141ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ශාරුජන් ෂන්මුගනාදන්

තවමත් 17 වැනි වියේ පසුවන ශාරුජන් ෂන්මුගනාදන් කණ්ඩායම හා එක් වෙන්නේ කඩුලු රකින්නෙක් ලෙසයි. කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය නියෝජනය කරන ඔහු නිමා වූ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ දී ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළා.

දිනුර කළුපහන

කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරුවා වෙන්නේ ගාල්ල, මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ දිනුර කළුපහන. ඔහු තම අවසන් තරග 10 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද සමඟින් ලකුණු 348ක් ලබා සිටිනවා. එහි සාමාන්‍ය 49.71ක් ලෙස ඉහළ අගයක් රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති එක්දින තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන දිනා ගත්තා.

දිනුර මේ වෙද්දී කොළඹ, SSC කණ්ඩායම සමඟ ද එක් ව සිටිනවා.

විහස් තෙව්මික

කොළඹ, තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින් තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ විහස් තෙව්මික, බටහිර ඉන්දිය කොදෙව්වන්ට මෙන් ම ඇෆ්ගනිස්තානයට ද එරෙහිව තරග බිමට පිවිස තිබෙනවා.

කොදෙව්වන් සමඟ පැවති දෙවැනි සිව්දින තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ද විහස්.

ඔහු තමන් සහභාගී වූ අවසන් තරග 7 දී කොදෙව්වන්ට එරෙහිව ඉනිමක ලබා ගන්නා ලද කඩුලු 6ක් ද ඇතුලු ව කඩුලු 20ක් ද සහ ලකුණු 144ක් ද ලබා සිටිනවා.

විශ්ව ළහිරු

පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කරන විශ්ව ළහිරු යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ වමත් දඟපන්දු යවන්නෙක් ලෙසයි. බටහිර ඉන්දීය කොදෙව්වන් හා සමඟ තරගාවලියට ද එක් වූ ඔහු ක්‍රීඩා කළ අවසන් තරග 10 දී කඩුලු 16ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ගරුක සංකේත

වත්තල, ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් යොවුන් කණ්ඩායම හා එක් වූ ගරුක සංකේත් දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩකයෙක්. මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම යොවුන් එක්දින කණ්ඩායම නියෝජනය කර ඇති ගරුක තම අවසන් ඉනිම් 6 දී කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

කවීෂ පියුමාල්

වමත් දඟපන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන කවීෂ පියුමාල් මීට පෙර පැවති කොදෙව් තරගාවලියේ දී ද යොවුන් කණ්ඩායම නියෝජනය කළා. ඔහු මෙම කණ්ඩායම හා එක් වෙන්නේ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින්.

හිරාන් ජයසුන්දර

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරමින් යොවුන් කණ්ඩායම හා එක් වූ හිරාන් ජයසුන්දර මීට පෙර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයට එරෙහි කණ්ඩායම්වල ද සාමාජිකත්වය ලැබූ වමත් පිතිකරුවෙක්.

රුසඳ ගමගේ

කොළඹ සාන්ත පීතර විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වූ රුසඳ ගමගේ, නිමා වූ කොදෙව් සංචාරයේ දී සිව්දින තරග 2ක ඉනිම් 4 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 93ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

මනුල කුලරත්න

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරන මනුල කුලරත්න මීට පෙර මෙරට සංචාරය කළ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ වූ තරගාවලියේ ද ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ සිටි ක්‍රීඩකයෙක්.

රුවිෂාන් පෙරේරා

කොළඹ, ආනන්ද විද්‍යාලය නියෝජනය කරන රුවිෂාන් පෙරේරා, නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ ද යොවුන් කණ්ඩායම හා එක් වූ ක්‍රීඩකයෙක්.

ගීතික ද සිල්වා

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය නියෝජනය කරන ගීතික ද සිල්වා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ පළමු වරටයි.

සංචාරයට එක් වන මෙම කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩකයන් ලෙසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සුපුන් වඩුගේ, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ දිනුරු අබේවික්‍රම, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ජනිත් ප්‍රනාන්දු, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිනුක තෙන්නකෝන්, කොළඹ රාජකීය විද්‍යාලයේ රනුක මලවිආරච්චි සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ විශ්ව රාජපක්ෂ ද නම් කර තිබෙනවා.

තරග සංචාරයට එක් වන නිලධාරී මඬුල්ල: ජයන්ත සෙනෙවිරත්න මහතා (කළමණාකරු), ජෙහාන් මුබාරක් මහතා (ප්‍රධාන  පුහුණුකරු), චමිල ගමගේ මහතා (සහාය පුහුණුකරු), ගයාන් විජේකෝන් මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), සම්පත් පෙරේරා මහතා (සහාය පුහුණුකරු), අජන්ත වත්තේගම මහතා (භෞත චිකිත්සක), රන්ජන් සෙනෙවිරත්න මහතා (දත්ත විශ්ලේෂක) සහ ප්‍රදීප් ධර්මසේන මහතා  (ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිත)

පාකිස්තාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

මෙම තරගාවලියේ මෙන් ම දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<