කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්

1

Sri Lanka tour of Pakistan 2026 මේ වෙද්දී ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් ද්විත්වයේ නායකත්වය හිමි කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මඟින් නම් කර තිබෙනවා.  

ඒ අනුව එළැඹෙන පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ 19 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස් කළඑළි බැසීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා Rawalpindi හි දී ද සහ 2 වැනි ටෙස්ට් තරගය එම මාසයේ ම 17 වැනිදා සිට 21 වැනිදා දක්වා Lahore හි දී ද පැවැත්වීමට නියමිතයි.  

2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙරට සංචාරයක නිරත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ව කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී මංගල ටෙස්ට් වරම් දිනා ගත් කුසල් මෙන්ඩිස් මේ දක්වා ටෙස්ට් තරග 75ක ඉනිම් 139ක දී ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4836ක් ලබා තිබෙනවා. ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ අයර්ලන්තයට එරෙහි ව 2023 වසරේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේ ලබා ගන්නා ලද ලකුණු 245යි.  

31 හැවිරිදි වියේ පසුවෙන කුසල් මෙන්ඩිස් තරග රටා ත්‍රිත්වයේ දී ම පිතිකරුවෙන් ලෙසින් දක්ෂතා දක්වා ඇති අතර ඔහු එක්දින ජාත්‍යන්තර තරග 159කට සහභාගී වෙමින් ශතක 7ක් සහ අර්ධ ශතක 36ක් සමඟින් ලකුණු 5160ක් ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 109ක දී අර්ධ ශතක 20ක් සමඟින් ලකුණ 2694ක් ලබා තිබෙන ක්‍රීඩකයෙක්.  

මේ තරග රටා ත්‍රිත්වයේ දී කුසල් මෙන්ඩිස් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 12 690ක් වන අතර පළමු පෙළ තරග 113ක දී ශතක 19ක් සහ අර්ධ ශතක 32ක් සමඟින් ලකුණු 7569ක් ලබා සිටිනවා.  

කඩුල්ල පිටුපස ද රාජකාරියේ නියුතු කුසල් මෙන්ඩිස් මේ දක්වා ටෙස්ට් කඩුලු දවා ගැනීම් 125කට, එක්දින ජාත්‍යන්තර කඩුලු දවා ගැනීම් 118කට ද සහ විස්සයි විස්ස ජාත්‍යන්තර  කඩුලු 62කට දායකත්වය දක්වා තිබෙනවා.    

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<