Brook ගේ ද්විත්ව ශතකයේ සිට ලකුණු 430ක් හඹා යෑම දක්වා

Pakistan ODI Tri-Series 2026

6
Pakistan ODI Tri-Series 2026

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දෙවැනි ඉහළ ම ලකුණු හඹා යෑම සහ තවත් වාර්තාවන් රැසක් ද සමඟින් පාකිස්තානයේ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය ලෝක තරග ඉතිහාසයේ 5042 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි.

ක්‍රිකට් ලෝක වාර්තා පොත් නැවත සටහන් තැබීමට සිදු වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දුවක් පමණක් ඉතිරි වෙද්දී කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වෙන්නේ ලකුණු 430ක ඉලක්කයක් හඹා යමිනුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මෙන් ම එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ද හදවත් උණුසුම් කළ එම තරගයේ සුවිශේෂී කඩඉම් පිළිබඳ ව තැබෙන සටහනක් මේ.

>>ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි<<

430 : මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ප්‍රතිවාදින් පරාජය කරන්නේ ප්‍රතිවාදීන් ලබා දුන් ලකුණු 430ක ඉලක්කය හඹා යමිනුයි. එය ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළ ම හඹා යෑම් අතුරින් 2 වැනි ස්ථානයට පත් හඹා යෑම බවට පත් වුණා.

ලෝක එක්දින තරග ඉතිහාසයේ හොඳම හඹා යෑම් 5
Team Score Over Target Opposition Ground Year
1 දකුණු අප්‍රිකාව 438/9 49.5 435 ඔස්ට්‍රේලියාව Johannesburg 2006
2 ශ්‍රී ලංකාව 430/8 49.5 430 එංගලන්තය Rawalpindi 2026
3 ඉන්දියාව 406/2 43.3 406 බ.ඉ. කොදෙව් Guwahati 2026
4 දකුණු අප්‍රිකාව 372/6 49.2 372 ඔස්ට්‍රේලියාව Durban 2016
5 නෙදර්ලන්තය 374/6 49.2 370 ස්කොට්ලන්තය Dundee 2025

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ සා දක්ෂතාවක් සිදු කර තිබුණේ 2006 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ම එරෙහි ව Leeds හි දී ලකුණු 322ක් හඹා යමින්  ජයග්‍රහණය කළ ජයග්‍රහණයයි.

114 : ලෝක එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය එංගලන්ත කණ්ඩායමේ නායක Harry Brook සතු කර ගත්තා.

ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී Guwahati හී Barsapara ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දිය නායක Shubman Gill විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව පන්දු 117ක දී වාර්තා කරනු ලැබූ ඉනිමයි.

202 : මෙම තරගයේ දී එංගලන්ත නායක Harry Brook විසින් වාර්තා කරන ලද ඉනිම එංගලන්ත එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

මීට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ 2023 වසරේ දී නවසීලන්තයට එරෙහි ව Ben Stokes විසින් ලබා සිටි ලකුණු 182යි.

  • Harry Brook විසින් වාර්තා කරන ලද මෙම ඉනිම පාකිස්තානයට එරෙහි ව එංගලන්ත ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ වර්ථමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු Gary Kirsten, 1996 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබා ගත් ලකුණු 188යි.
  • ආරම්භක පිතිකරුවෙක් නොවන පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද Harry Brook විසින් සතු කර ගන්නවා. ඊට පෙර එහි හිමිකාරීත්වය ඕස්ට්‍රේලියාවේ Glenn Maxwell සතු වූයේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී අංක 6 ස්ථානයෙන් පිටියට පිවිස නොදැවී ලබා ගත් ලකුණු 201ටයි.
  • අංක 4 පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද Harry Brook ගේ මෙම ඉනිමට හිමි වුණා. ඊට පෙර එහි වාර්තාව සතු වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Viv Richards විසින් 1984 වසරේ දී Manchester හි දී එංගලන්තයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 189ටයි.
  • එක්දින ජාත්‍යන්තර ද්විත්ව ශතකලාභී නායක ලැයිස්තුව සිව් දෙනෙක්ගෙන් යුක්තයි. එහි නායකයන් තිදෙනක් ම ඉන්දියාවෙන් වන අතර ඊට අලුතින් ම එක් වෙන්නේ එංගලන්තයෙන්.
එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ද්විත්ව ශතකලාභී නායකයන්
Player Team Runs Balls 4s 6s Opposition Year
1 Virender Sehwag ඉන්දියාව 219 149 25 7 බ.ඉ. කොදෙව් 2011
2 Rohit Sharma ඉන්දියාව 264 173 33 9 ශ්‍රී ලංකාව 2014
3 Shubman Gill ඉන්දියාව 223* 133 26 8 බ.ඉ. කොදෙව් 2026
4 Harry Brook එංගලන්තය 202 116 21 10 ශ්‍රී ලංකාව 2026

එංගලන්ත එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ නායකයෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුයේ මෙම ඉනිමයි. ඊට පෙර එහි හිමිකාරීත්වය 2011 ලෝක කුසලාන තරගාවලියේ දි ලකුණු 158ක් ලබා සිටි Andrew Strauss සතු වුණා.

  • Harry Brook ගේ මෙම ද්විත්ව ශතකය පරාජිත කණ්ඩායමක ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරනු ලැබූ පළමු ද්විත්ව ශතකය බවට ද පත් වුණා.

මීට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැදී තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමේ Charles Coventry විසින් 2009 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව නොදැවී ලබා ගත් ලකුණු 194යි.

429/4 : එංගලන්තය විසින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව, ශ්‍රී ලංකාවට එරෙහි ව එංගලන්ත කණ්ඩායමක් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර මෙම වාර්තාව වී තිබුණේ මේ වසරේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔවුන් විසින් කඩුලු 3ක් දැවී ලබා ගත් ලකුණු 357යි.

430/8 : ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව, එංගලන්තයට එරෙහි ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි. ඊට පෙර මෙම වාර්තාව වී තිබුණේ 2006 වසරේ දී Leeds හි දී ඔවුන් විසින් කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 324යි.

ශ්‍රී ලංකාව විසින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙරට ඉතිහාසයේ එක්දින තරගයක දී වාර්තා කරන ලද 2 වැනි හොඳම ඉනිම ද වෙයි. මෙහි පළමු ස්ථානය හිමි ව තිබෙන්නේ 2006 වසරේ Amstelveen හි දී නෙදර්ලන්තයට එරෙහි ව කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 443යි.

859 : දෙරට ක්‍රීඩකයෝ විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු එකතුව ඔවුනොවුන්ගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසවල එලෙසින් ලියැවුණ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාව මීට පෙර 2009 වසරේ දී  Rajkot හි දී ඉන්දියාව සමඟින් ලකුණු 825ක් එක් කර ගනිමින් ද සහ එංගලන්තය මීට පෙර 2019 වසරේ දී St George’s හි දී බටහිර ඉන්දීය කොදෙව්වන් හා එක් ව ලබා ගත් ලකුණු 807 ද මෙහි රැඳී තිබුණා.

8x50+ : මෙම තරගයේ දී දෙරට ක්‍රීඩකයෝ අර්ධ ශතකය ඉක්ම වූ ඉනිම් 8ක් වාර්තා කිරීමට සමත් වෙනවා. එය ලෝක එක්දින තරග ඉතිහාසයේ එවන් දක්ෂතාවක් වාර්තා වූ සිව් වැනි අවස්ථාවයි.

මීට පෙර 2008 වසරේ දී Karachi හි දී පැවැති පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයේදීත්, 2013 වසරේ දී Jaipur හි දී පැවැති ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේදීත් සහ 2014 වසරේ දී Mirpur හි දී පැවැති බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගයේදීත් මෙවන් දක්ෂතා මෙම ලැයිස්තුවට එක් ව තිබෙනවා.

166 : මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ පවන් රත්නායක 3 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු සබඳතාව එංගලන්ත කණ්ඩායමක් වෙනුවෙන් එම කඩුල්ලට එක් කළ ඉහළ ම ලකුණු සබඳතාවයි.

ඊට පෙර එම වාර්තාව සතු ව තිබුණේ 2011 වසරේ දී කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් Leeds හි දී ලබා ගත් ලකුණු 159යි.

8005 : එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු ලබා සිටින Joe Root මෙම තරගයේ දී ලකුණු 69ක් ලබා ගන්නා ලද අතර ඒ සමඟින් ඔහු එක්දින ලකුණු 8000ක් ලබා ගත් පිතිකරුවන්ගේ සමාජයට ද එක් වුණා.

130 : මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ පවන් රත්නායක තම එක්දින ජාත්‍යන්තර තරග 11ක හොඳම ඉනිම වාර්තා කිරිමට සමත් වෙනවා.

ඊට පෙර ඔහුගේ හොඳම ජාත්‍යන්තර එක්දින ඉනිම බවට පත් ව තිබුනේ මේ වසරේ එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ලකුණු 121යි.

103 : මෙම තරගයේ දී වමත් මඳ වේග පන්දු යවන Sam Curran දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහු යවනු ලැබූ පන්දුවාර 9 අවසානයේ දී ඔහුගේ නම වාර්තා පොත් අතරට එකතු වූයේ ලොව වැඩිම ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නා ලෙසයි.

මීට පෙර මෙම ලැයිස්තුවේ පළමු අසුන හිමි ව තිබුණේ ඔහුට ම වීම ද විශේෂත්වයක්. ඒ 2023 වසරේ North Sound හි දී පන්දු වාර 9.5ක දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 98ක් ලබා දෙමිනුයි.

50 : මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ දකුණතින් මඳ වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ අර්ධ ශතකය සැපිරූ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<