එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අද (22) සිට ආරම්භ වීමට නියමිතයි.
එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන
1 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 22 වැනිදා (දිවා/රාත්‍රී), Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී.
2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 24 වැනිදා (දිවා/රාත්‍රී) Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.
3 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 27 වැනිදා London හී Kennington Oval ක්‍රීඩාංගණයේ දී.
1982 වසරේ සිට ආරම්භ වන දෙරට එක්දින ඉතිහාසයේ මේ දක්වා පවත්වා ඇති තරග සංඛ්‍යාව 82ක්. ඒ අතුරින් ශ්‍රී ලංකාව තරග 38ක් ජයග්‍රහණය කරද්දී එංගලන්තය තරග 40ක ජයග්‍රහණය ලබා ගන්නවා. ඊට අමතර ව ලකුණු සම වූ තරගයක් සහ නොවිසඳුණ තරග 3ක් ද ඒ අතර තිබෙනවා.
දෙරට ක්‍රීඩකයෝ ද්විත්ව තරගාවලි 14ක දී මෙතෙක් හමුවී ඇති අතර ඉන් වැඩි වාර ගණනක් ජයග්‍රහණය කරන්නේ එංගලන්තයයි. එය ලැයිස්තු ගත කිරීමේ දී 7 වරක් එංගලන්තයටත්, 6 වරක් ශ්‍රී ලංකාවටත් ලෙසින් ජයග්‍රහණ වෙන් වෙන අතර දෙරට පැවැති මංගල තරගාවලිය විසඳුමකින් තොර ව අවසන් ව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එංගලන්තයේ දී පළමු වරට තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ 2006 වසරේ දී වන අතර (5-0) අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 2014 වසරේ දී (3-2) යි. ඉන් අනතුරු ව ශ්‍රී ලංකාව 2016 වසරේ දී මෙන් ම 2021 වසරේ දී එරට සංචාරවල නිරත වූව ද ඒ තරගාවලි ද්විත්වය ද පිළිවෙලින් තරග 3-0ක් සහ තරග 2-0ක් ලෙසින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.
දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට මේ වසර ආරම්භයේ දී මෙරට දී හමුවෙන අතර එහි දී තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා.
අද ආරම්භ වෙන, නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින සංචිතයට නිමා වූ විස්සයි විස්ස තරගාවලියට සහභාගී වූ ලහිරු උදාර, තරිඳු රත්නායක සහ නුවන් තුෂාර නොමැති අතර ඒ වෙනුවට නැවතත් නායකත්වයේ කිරුළ හිස පැළඳ ගනිමින් කුසල් මෙන්ඩිස් එක් වෙන අතර ඊට අමතර ව සචිඳු කොළඹගේ සහ අසිත ප්‍රනාන්දු ද ඊට නම් කර තිබෙනවා.
28 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන සචිඳු කොළඹගේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් සහභාගී වන ප්‍රථම තරගාවලිය මෙයයි. නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ඔහු මේ දක්වා පළමු පෙළ තරග 14කට සහභාගී වෙමින් කඩුලු 27ක් ද, පළමු පෙළ එක්දින තරග 45ක දී කඩුලු 69ක් ද සහ විස්සයි විස්ස තරග 49ක දී කඩුලු 69ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.
29 වැනි වියේ පසුවෙන අසිත ප්‍රනාන්දු මෙම තරගාවලිය හා එක් වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 31කට සහභාගී වෙමින් කඩුලු 39ක් ලබා තිබෙනවා. පසුගිය මාසයේ මෙරට දී ඉන්දියාව සමඟින් නිමා වූ ටෙස්ට් තරග ද්විත්වයේ දී වේග පන්දු යවන්නෙක් ලෙසින් ඔහු දැක් වූ දක්ෂතා කාගේත් අවධානයට ලක් වුණා.
එංගලන්තය සංචාරයේ, ශ්‍රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, පැතුම් නිස්සංක, පවන් රත්නායක, චරිත් අසලංක (උප නායක), වනිඳු හසරංග, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශ්මන්ත චමීර, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…
- කොළඹ දකුණ දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් යොවුන් ශූරතාව දිනා ගනි
ශ්‍රී ලංකාව එලෙසින් මෙම තරගාවලිය හා එක් වෙද්දී එංගලන්තය ද වෙනස්කම් ත්‍රිත්වයක් සමඟින් මෙම තරගාවලිය හා එක් වෙනවා. එහි දී 22 හැවිරිදි වියේ පා දඟ පන්දු යවන Rehan Ahmed, දකුණතින් මඳ වේග පන්දු යවන තවමත් එංගලන්ත ජාතික කණ්ඩායම හා එක් නොවූ, පළමු පෙළ කඩුලු 125ක්, පළමු පෙළ එක්දින කඩුලු 49ක් සහ විස්සයි විස්ස කඩුලු 35ක් දවාගෙන තිබෙන Henry Crocombe සහ 35 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක Joe Root ද අලුතෙන් ම කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඒ වෙනුවෙන් පෙර පැවැති විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් කර තිබෙන්නේ Aneurin Donald, James Coles සහ Saqib Mahmood යන ක්‍රීඩකයන්.
එක්දින තරගාවලිය වෙනුවෙන් අලුතෙන් ම නම් කරන ලද ක්‍රීඩකයන් අතුරින් Joe Root ට හිමි වෙන්නේ සුවිශේෂී අවධානයක්. ඔහු තමන් සහභාගී වූ අවසන් එක්දින ඉනිම් 6 අවසන් කරන්නේ ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 496ක් ලබා ගනිමිනුයි. එහි සාමාන්‍ය 248.0ක් ලෙසින් තබා ගැනීමට ද ඔහු සමත් වෙනවා. ඒ ඔහුගේ මේ ඉනිම් 6 තුළ ඉනිම් 4ක් ම නොදැවී වාර්තා කළ ඉනිම් හේතුවෙනුයි. මේ සියලු ඉනිම් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහි ව මේ වසරේ දී වාර්තා කළ ඉනිම් වීම ද විශේෂත්වයක්.
Joe Root මේ වන විට දෙරට එක්දින තරග ඉතිහාසයේ වත්මන් ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු ලබා සිටින ක්‍රීඩකයා ද වෙනවා. ඔහු මේ වෙද්දී ශ්‍රී ලකාවට එරෙහි ව තරග 32කට මුහුණ දෙමින් ඉනිම් 29ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1425ක් ලබා තිබෙනවා. ඔහු මෙම ලකුණු ලැයිස්තුවේ දී දෙවැනි වන්නේ කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධනට පමණයි.
එමෙන් ම Joe Root එක්දින ජාත්‍යන්තර තරග 192කට සහභාගී වෙමින් ශතක 20ක් හා අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 7826ක් ලබා ගනිමින්, එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙසිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.
ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 3-0කින් ජයග්‍රහණය කරමින් ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම බවට පත් කළ එංගලන්ත නායක Harry Brook, මෙම තරගාවලිය සඳහා එක් වෙන්නේ එක්දින ජාත්‍යන්තර තරග 41කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1385ක් ලබා ගනිමිනුයි.
ඔහුගේ එම ලකුණු අතර මේ වසර මුල දී මෙරට පැමිණි අවස්ථාවේ දී නොදැවී ලබා ගත් ලකුණු 136, සැමරුමක් ලෙසින් තම ලකුණු ලැයිස්තුවේ හිණි පෙත්තේ තබා තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟින් තරගාවලියට එක් වෙන අනෙක් ප්‍රහාරාත්මක පිතිකරු වෙන්නේ කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි 36 වැනි වියේ පසුවෙන Jos Buttler. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 202ක ඉනිම් 174කට එක් වෙමින් ශතක 11ක් සහ අර්ධ ශතක 29ක් සමඟින් ලකුණු 5578ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.
මේ තරග අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 29ක ඉනිම් 22ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලබා ගත් ලකුණු 634ක් ද තිබෙනවා.
ඔවුන්ට අමතර ව ඉදිරි පෙළ වමත් පිතිකරු Ben Duckett ද එංගලන්ත පිතිකරු ලැයිස්තුවේ අලුත් ම විශ්වසනීය පිතිකරු බවට පත් ව සිටිනවා.
පන්දු යැවීමේ දී එංගලන්තයේ සුවිශේෂි පිළිගැනීමක් ලැබෙන්නේ 38 වැනි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Adil Rashid වෙත. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 164කට සහභාගී වෙමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 243ක්. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 18කට සහභාගී වෙමින් ලබා ගත් කඩුලු 22ක් ද ඒ අතර තිබෙනවා.
ඔහුට අමතර ව මේ වෙද්දී එක්දින ජාත්‍යන්තර තරග 39ක දී කඩුලු 70ක් ලබා ගෙන සිටින 31 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Jofra Archer, තවත් දකුණත් මඳ වේග පන්දු යවන්නෙක් වන 28 වැනි වියේ පසුවෙන Gus Atkinson ද සහ පා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක Rehan Ahmed ද එංගලන්ත පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙසින් හැඳින් වෙනවා.
එංගලන්ත එක්දින සංචිතය
Harry Brook (නායක), Rehan Ahmed, Jofra Archer, Gus Atkinson, Sonny Baker, Tom Banton, Jos Buttler, Jordan Cox, Henry Crocombe, Liam Dawson, Ben Duckett, Will Jacks, Jamie Overton, Adil Rashid, Joe Root සහ Josh Tongue.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















