චමුදිලාට පාකිස්තානයේ තුන්කොන් තරගාවලියක්

Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

2
Women’s U 19 T20 Tri-Series in Pakistan 2026

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් ඔක්තෝබර් 2 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායකත්වයට චමුදි ප්‍රබෝදා නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් එක්වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක් වෙන 15 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වයට පත්, තවමත් 17 වැනි වියේ පසුවෙන වමත් දඟ පන්දු යවන්නියක ලෙසින් දක්ෂතා දක්වන චමුදි ප්‍රබෝදා ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකාවක්.

එම කණ්ඩායමේ උප නායකත්වයට පත් කර ඇති සංජනා කාවින්දි ද මේ වෙද්දී ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක්. ඔවුන් දෙදෙනා ම මේ වෙද්දී ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල හා එක් ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන්.

ඔවුන් දෙදෙනාට අමතර ව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාව මෙන් ම ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති මනුදි නානායක්කාර ශාරීරික යෝග්‍යතාව මත සංචාරයට එක් කිරීමේ තීරණයට යටත් ව කණ්ඩායමට එක් කර ඇති අතර  ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ශෂිනි ගිම්හානි ද මෙම කණ්ඩායමට පළපුරුදු ක්‍රීඩිකාවන් ලෙසින් එක් කර තිබෙනවා.

එමෙන් ම මීට පෙර වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කළ විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, නෙතඟි ඉසුරාංජලී, සනුකි පතිරගේ, අසේනි තලගුණේ, දනෝද්‍යා සෙව්මිණි, උමයංගනා පීරිස්, ප්‍රමුදි මෙත්සරා සහ දාරියා දිසානායක ද මෙම කණ්ඩායමේ අසුන් වෙන්කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම

  1. චමුදි ප්‍රබෝදා (නායිකාව – පඤ්ඤානන්ද මහා විද්‍යාලය, මොනරාගල)
  2. සංජනා කාවින්දි (උප නායිකාව – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
  3. විමෝක්ෂා බාලසූරිය (සිංහල මහා විද්‍යාලය, ත්‍රීකුණාමලය)
  4. මනුදි නානායක්කාර (වේල්ස් කුමරි විද්‍යාලය, මොරටුව)
  5. ලිමංසා තිලකරත්න (Beaconhills College, Melbourne)
  6. නෙත්මි උපේක්ෂා (මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල)
  7. නෙතඟි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
  8. සනුකි පතිරගේ (මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
  9. ශෂිනි ගිම්හානි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
  10. අසේනි තලගුණේ (මහමායා බාලිකා විද්‍යාලය, මහනුවර)
  11. දනෝද්‍යා සෙව්මිණි (මධ්‍ය මහා විද්‍යාලය, ආණමඩුව)
  12. උමයංගනා පීරිස් (වේල්ස් කුමාරි විද්‍යාලය, මොරටුව)
  13. ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික පාසල, අම්පාර)
  14. චමෝදි හේරත් (අනුර විද්‍යාලය, මාතර)
  15. දාරියා දිසානායක (කාන්තා විද්‍යාලය, කොළඹ)

තරගාවලියට එක් වෙන සෑම කණ්ඩායමක් ම පළමු වටයේ දී ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ තරග 3කට සහභාගී වෙන අතර එම වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගත් කණ්ඩායම් ද්විත්වය ඔක්තෝබර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා එක් වීමට නියමිතයි.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය ඔක්තෝබර් 3 වැනිදා සත්කාරක පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ Faisalabad හි Iqbal ක්‍රීඩාංගණයේ දී.

තරග කාලසටහන

1 වැනි තරගය

ඔක්තෝබර් 2 වැනිදා : පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය

2 වැනි තරගය

ඔක්තෝබර් 3 වැනිදා : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය

3 වැනි තරගය

ඔක්තෝබර් 5 වැනිදා : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

4 වැනි තරගය

ඔක්තෝබර් 6 වැනිදා : පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය

5 වැනි තරගය

ඔක්තෝබර් 8 වැනිදා : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

6 වැනි තරගය

ඔක්තෝබර් 9 වැනිදා : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය

7 වැනි තරගය

ඔක්තෝබර් 11 වැනිදා : පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය

8 වැනි තරගය

ඔක්තෝබර් 12 වැනිදා : ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය

9 වැනි තරගය

ඔක්තෝබර් 14 වැනිදා : ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

10 වැනි තරගය

ඔක්තෝබර් 16 වැනිදා : අවසන් මහා තරගය

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<