සොනාල් දිනූෂ ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු බවට පත් වෙයි

India Tour of Sri Lanka 2026

3

පිට පිට පන්දුවට පහර දීමට ලැබූ ඉනිම් ද්විත්වයේ දී ම ශතක ලබා ගත් ලොව තෙවැනි ක්‍රීඩකයා බවට පත් සොනාල් දිනූෂ, ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවා බවට පත් වෙමින් ඉන්දියාව සමඟින් පැවැති 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් කිරිමට වැඩි මෙහෙයක් සිදු කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.     

කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති දෙරට අතර පැවැති 2 වැනි ටෙස්ට් තරගය අද (27) විසඳුමකින් තොරව නිමා වූව ද තරගාවලියේ පැවැති පළමු තරගය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩකයෝ තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කළා. තරගාවලියේ වීරයා බවට පත් වූයේ ඉන්දීය කණ්ඩායමේ Devdutt Padikkal. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා ගනිමින් තම ඉනිම අත්හිටු වූ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 290ක් පමණයි. අනතුරු ව ඔවුන් ලකුණු 213ක් පිටුපස සිටිමින් ප්‍රතිවාදීන්ගේ ආරාධනාව මත ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා. 

තරගය අවසන් වීමට, අවසන් පැය ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 429ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවන අතර ඒ වෙද්දී ප්‍රතිවාදීන්ට තරගයෙන් ජයග්‍රහණය කිරීමට ලකුණු 217ක ඉලක්කයක් ලැබෙනවා. එහෙත් ඒ වෙද්දී පැවැති කාලගුණ තත්ත්වය හා ඉතිරි ව තිබූ පන්දුවාර කිහිපය ද සැලකිල්ලට ගත් ඉන්දීය ක්‍රීඩකයෝ, සත්කාරක ක්‍රීඩකයන්ගේ ද එකඟතාව මත තරගය විසඳුමකින් තොරව අවසන් කළා. 

ශ්‍රී ලංකා ඉනිම අද ආරම්භ වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා. ඒ වෙද්දී සොනාල් දිනූෂ නොදැවී ලකුණු 7ක් ද සහ කේශර නුවන්ත නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.  

ඔවුන් දෙදෙනා එක් ව තරගයේ පළමු කාර්තුව වෙන්කර ගත් අතර තරගය දිවා විවේකයට නතර කරන විට ලකුණු පුවරුව දැක් වුණේ එම කඩුල්ලේ ම නතර වෙමින් ලකුණු 329ක් ලෙසයි. එය ශ්‍රී ලංකා කණ්ඩායමට මහඟු පිළිසරණක් වූවා.  

කෙසේ වෙතත් දිවා විවේකයෙන් පසුව යැවුණ සිව් වැනි පන්දුවේ දී කේශර නුවන්ත ගේ ඉනිම අර්ධ ශතකය පෙනි පෙනී තිබිය දී අහිමි වෙනවා. ඔහු දැවී යන විට පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.  

ඔහු සොනාල් දිනූෂ හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 242ක දී ලකුණු 112ක සබඳතාවක් ද ගොඩ ගනවා. ඉන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ ප්‍රභාත් ජයසූරිය. ඔහු ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 5ක් එක් වෙද්දී ලකුණු 2කට දැවී ගියා.   

එම දැවී යෑමෙන් අනතුරු ව ලහිරු කුමාර හා එක් වෙන සොනාල් දිනූෂ 9 වැනි කඩුල්ලට පන්දු 169ක දී ලකුණු 47ක සබඳතාවක් ගොඩ නගනවා.  

තේ විවේකයට තරග නතර කරන විට ද පිටියේ රැඳී සිටින්නේ ඔවුන් දෙදෙනායි. ඒ වෙද්දී සොනාල් දිනූෂ නොදැවී ලකුණු 98ක් ලබා සිටි අතර තේ විවේකයෙන් අනතුරු යැවුණ පළමු පන්දුවේ දී ඔහු තම ශතකය ලබා ගත්තා. අනුව ඔහු ටෙස්ට් තරග පිටියේ අංක 6 හෝ ඊට පසු ස්ථානයකින් පිටියට පිවිස ශතක 3ක් වාර්තා කළ ලොව 6 වැනි ක්‍රීඩකයා බවට පත් වුණා.  

තේ විවේකයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8කට ලකුණු 383ක් තිබූ අතර වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 170ක් ඉදිරියෙන් පසු වූවා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරමක සැනසිලිදායක ලකුණු පුවරුවක් බවට ද ඒ වන විට පත් ව තිබුණේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයත් සහ තරගය අවසන් වීමට තවත් පන්දුවාර 38ක් පමණක් ඉතිරි ව තිබිමත් හේතුවෙන්.  

ඔවුන් දෙදෙනා එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 169ක දී ලකුණු 47ක සබඳතාවක් එක් කරන අතර එම පන්දු සංඛ්‍යාවෙන් පන්දු 90කට ම මුහුණ දෙන්නේ ලහිරු කුමාර වීමත් කැපී පෙණුනා. ඔහු දැවී යනවිට හතරේ පහරක් ද සමඟින් ලකුණු 12ක් ලබා සිටියා. 

තරගයේ අවසන් පැය ක්‍රියාත්මක වීමට නියමිත ව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිම අත්හිටුවනවා. ඒ වෙද්දී සොනාල් දිනූෂ පන්දු 264කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 133ක් ලබා සිටියා.   

ඔහු අනෙක් අන්තයෙන් පිටියේ සිටි අසිත ප්‍රනාන්දු හා එක් ව 10 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 27ක සබඳතාවක් ද එක් කර තිබූ අතර ඒ වෙද්දී අසිත ප්‍රනාන්දු ද පන්දු 24කට මුහුණ දී සිටිය ද ලකුණු ලබා සිටියේ නැහැ.  

කඩුලු දවා ගැනීමේ දී Ravindra Jadeja සහ Manav Suthar කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව Mohammed Siraj, Prasidh Krishna, සහ Saransh Jain කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඉන්දියාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 503 (138.0) Yashasvi Jaiswal 45, Devdutt Padikkal 117, Shubman Gill 50, Rishabh Pant 63, Ravindra Jadeja 43, Dhruv Jurel නොදැවී 115, අසිත ප්‍රනාන්දු 4/106, ප්‍රභාත් ජයසූරිය 132/2, කේශර නුවන්ත 2/154
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (89.4) පසිඳු සූරියබණ්ඩාර 80, කමිඳු මෙන්ඩිස් 32, සොනාල් දිනූෂ 103, Prasidh Krishna 3/52, Manav Suthar 3/85, Saransh Jain 2/69
  • ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 429 (154.0) කමිල් මිෂාර 32, පසිඳු සූරියබණ්ඩාර 92, කමිඳු මෙන්ඩිස් 55, ධනංජය ද සිල්වා 23, සොනාල් දිනූෂ 133, කේශර නුවන්ත 46, Manav Suthar 3/121, Ravindra Jadeja 3/94 

තරගයේ විසඳුමක් නෑ. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<