WPL වෙන්දේසිය කල් යන ලකුණු

339

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලිය නිසා මෙම මාසයේ පළමු සතියේ දී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ වෙන්දේසිය මෙම (පෙබරවාරි) 11 හෝ 13 දක්වා කල් යෑමට වැඩි ඉඩක් ඇතයි වාර්තා වෙනවා.

කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් ලබා ගත් හිමිකරුවන්ගෙන් හතර දෙනෙකු ජාත්‍යන්තර ලීග් තරගාවලියේ කණ්ඩායම් ලබා ගෙන ඇති නිසා (Royal Challengers Bangalore හිමිකරුවන් හැර) ඔවුන් මෙම වෙන්දේසිය ජාත්‍යන්තර ලීග් තරගාවලියෙන් පසුව පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

එයින් කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් සිය අවධානය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා ක්‍රීඩිකා වෙන්දේසිය ජාත්‍යන්තර ලීග් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් පසුව පවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග පෙබරවාරි 08 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි අවසන් තරගය පෙබරවාරි 12 වැනිදා පැවැත්වෙනවා.

ඒ අනුව වෙන්දේසිය පැවැත්වෙන නව දිනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් හිමිකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වීමට සැලසුම් කරමින් ඇති බව ද වාර්තා වෙනවා.

එම වෙන්දේසිය පැවැත්වෙන ස්ථානයක් තවමත් දැනුවත් කර නොමැති අතර මීට පෙර එය පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට සැලසුම් කරද්දී මුම්බායි, දිල්ලි සහ අහ්මදාබාද් අතරින් එක් ස්ථානයක් තෝරා ගැනීම සැලසුම වී තිබුණා.

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දින පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. පෙබරවාරි 11 හෝ 13 දිනවල වෙන්දේසිය පැවැත්වීමට අවධානය යොමුව ඇතත් සෑම කණ්ඩායමකට පහසු දිනය පෙබරවාරි 13 වැනිදායි,” යැයි කණ්ඩායම් හිමිකරුවෙකු ප්‍රකාශ කළා.

එමෙන්ම මෙය පිළිබඳව තහවුරු කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, කණ්ඩායම්වලට වෙන්දේසිය සඳහා සූදානම් වීමට කාලය ලබා දිය යුතු බවයි.

මෙම වෙන්දේසිය පැවැත්වීමට හෝටලයක් සොයා ගැනීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ දී ඇති මීළඟ ගැටලුව වන අතර මෙම සමය බොහෝ විවාහ උත්සව පැවැත්වෙන කාලසීමාවක් බැවින් පෙබරවාරි 11 සහ 13 මුම්බායි නුවර කිසිදු ස්ථානයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ද වාර්තා වෙනවා.

කෙසේ නමුත් මෙම වෙන්දේසිය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳ තීරණය ඉදිරි දින කිහිපයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<