විය යුතු දේ 96න් ඉගෙන ගන්නා බව මහීෂ් පවසයි

ICC World Cup Qualifiers 2023

2358
ICC World Cup Qualifiers 2023

1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තම කණ්ඩායමට යම් ආදර්ශයක් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විසින් පවසනවා.

ICC 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේ දේශයේ දී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සහභාගී වී සිටින අතර, එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන මහීෂ් තීක්ෂණ විසින් පවසන්නේ, 1996 දී ලෝක ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම වත්මන් කණ්ඩායමට හොඳ ආදර්ශයක් ලෙස සැලකිය හැකි බවයි.

“කවුරුවත් හිතුවේ නැහැ 1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කරාවී කියලා. ඒ නිසා ඒක දිරිගැන්වීමක්. විශේෂයෙන්ම ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ ආකාරය.”

96 ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බලා තමන් ප්‍රමුඛ නවක ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට බොහෝ දේ උගත හැකි බවයි තීක්ෂණ විශ්වාස කරන්නේ.

“අපි මේ සියල්ල අපේ පරම්පරාවටත් ලබා ගත යුතුයි. රණතුංග (අර්ජුන) නායකයා ලෙස කටයුතු කළ ආකාරය, සෑම කෙනෙකුට ම ඒ ගැන මතකයන් රාශියක් තියෙනවා.

ඒ කාලසීමාව තුළ කණ්ඩායමක් ලෙස ඔවුන් සිදු කළ සමහර දේවල් අපිත් කළ යුතුයි. නමුත් අපිත් නව පරම්පරාවක් නිසා අපි ඒ දේවල් වෙනස් ආකාරයකට කළ යුතුයි.

ක්‍රිකට් ක්‍රීඩාව ගමන් කරන ආකාරය දැන් ගොඩක් වෙනස්, ඒ නිසා අපේ උපරිමය සිදු කරමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අවස්ථාව මෙය බවයි මම හිතන්නේ.”

නිමා වූ නවසීලන්ත තරග සංචාරයේ දී ලද පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථාව ද අහිමි වී ගිය අතර, එම නිසා ඔවුන්ට සිම්බාබ්වේ දේශය බලා පිටත් ව යාමට සිදු වුනා.

ඒ අනුව මෙවර සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේ දී ඔවුන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට සිදු වනවා.

මේ අතරින් ඕමාන කණ්ඩායම පිළිබඳ ශ්‍රී ලංකාවට එතරම් ම තරග අත්දැකීම් නොමැති අතර එය තම කණ්ඩායමට යම් අභියෝගයක් වනු ඇති බවයි තීක්ෂණ පවසන්නේ.

“අපි ඔවුන් ගැන වැඩි යමක් දන්නේ නැහැ. ඒක ලොකු පීඩනයක් නෙවෙයි, නමුත් පීඩනයක් තියෙනවා. මොකද අපි ඔවුන්ගේ ශක්තීන් සහ දුර්වලතා ගැන නොදන්න නිසා.”

එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු තුරුම්පු දෙක ලෙස සැලකිය හැකි මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග යුගලය පිළිබඳව ද මහීෂ් විසින් සිය අදහස් මෙසේ පවසා සිටියා.

“මට හොඳ හවුල්කරුවෙක් ඉන්නවා. අපි දන්නවා විරුද්ධ කණ්ඩායම් ඔහුව දකින්නේ ලෝක මට්ටමේ පන්දු යවන්නෙකු විදිහටයි.

ඒ නිසා ඔවුන් සමහර විට ඔහුගෙන් ආරක්ෂා වෙලා මගෙන් ලකුණු ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් පසුව මට කඩුලු ලබා ගන්න අවස්ථාවක් උදා වෙනවා. මම හිතන්නේ ඒක කණ්ඩායම වෙනුවෙන් ධනාත්මක දෙයක් කියලා මොකද මට නිතරම පිතිකරුවාට පීඩනයක් එල්ල කරන්න අවස්ථාව ලැබෙනවා.”

මහීෂ් – වනිඳු සුසංයෝගයේ දස්කම් ද සමඟින් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු කෙතරම් දුරකට සාර්ථක වේ දැයි මෙම මස 18 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් දැක ගත හැකි වනු ඇති.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත තරග 19 (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), 23 (ඕමානය), 25 (අයර්ලන්තය) සහ 27 (ස්කොට්ලන්තය) යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

එම තරගවල ප්‍රතිඵල අනුව මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ලැබෙනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන් මග පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<