සටන් කර ජය ගන්න

164
AFP

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි දිනය වූ ඊයේ (05) අතිශය තරගකාරී ගැටුම් දෙකක් පැවැත්විය. පළමු සතිය තුළ තරග තුනකට මුහුණ දීමේ අසීරු අභියෝගය සමඟ දකුණු අප්‍රිකාව දවස් 6ක් තිස්සේ අනෙක් කණ්ඩායම් සියල්ල ක්‍රීඩා කරන අයුරු බලා සිටි ඉන්දියාවට එරෙහිව සදැම්ප්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණයට පිවිසෙද්දී ඊට පැය 3කට පසු දිවා රාත්‍රි තරගයක් ලෙස සිය දෙවන අභියෝගයට මුහුණ දීම සඳහා බංග්ලාදේශය සහ නවසීලන්තය ඇතුළු වුනේ ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයටයි.

ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර තිබේ. මාස 7කට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලැබූ කණ්ඩායමක්…

පළමු ඉනිම ක්‍රියාත්මක වෙද්දී මේ තරග දෙකම මුලින් පන්දු යැවූ කණ්ඩායම්වලට පහසුවෙන් ජය ගැනීමට හැකි තරග ලෙස දිස්වූවත්, පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරීත්වය පිළිබඳ උදාහරණ සපයමින් ක්‍රීඩාලෝලීන්ට තියුණු සටනක අත්දැකීම නොමදව තිලිණ කරන්නට මේ තරග දෙකම සමත් වීම කැපී පෙනුණු කරුණකි.

කඩා වැටුණු ආරම්භය

තරග දෙකක දී ම ජයග්‍රහණය කළ කාසියේ වාසියෙන් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දී ඒ දෙවතාවම පරාජයට පාර කපා ගත් දකුණු අප්‍රිකානුවන් ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව හමුවේ එම අවදානම ගැනීමට කිසිසේත්ම කැමති වූයේ නැත. මෙවර තරගාවලිය තුළ දකුණු අප්‍රිකානුවන්ට අනුකම්පාව දක්වන එකම සාධකය වන කාසියේ නිවැරදි මුහුණත මෙවරත් ෆෆ් ඩු ප්ලේසිස් හට වාසි සහගත ලෙස බිම පතිත වූ අතර මෙවර ඔහු තෝරා ගත්තේ පිතිකරණයයි.

කෙසේ වෙතත් ලොව හොඳම පන්දු යවන්නන් පිළිබඳ විවාදයේ ඉහළින්ම සාමාජිකත්වය දරන ජස්ප්‍රිට් බුම්රා හමුවේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන්ට සිය නායකයා පැවරූ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට හැකියාව ලැබුණේ නැත. පන්දු 7ක් පුරා බුම්රා හමුවේ ක්වින්ටන් ඩි කොක් අමාරුවේ වැටෙන අයුරු බලා සිටි හෂීම් අම්ලා බලාපොරොත්තු වූ පරිදිම ඔහු මුහුණ දුන් බුම්රාගේ පළමු පන්දුව නිදැල්ලේ හැරීමට නොහැකි පන්දුවක් විය.

බුම්රා බලාපොරොත්තු වූ පරිදිම අම්ලා පිට ඉන්නට මදක් එපිටින් පතිත වූ පන්දුව දෙසට පිත්ත යොමු කරන ලදි. කඩුල්ල පසුපස සිටි ක්‍රීඩකයන් බලාපොරොත්තු වූ පරිදීම එය අම්ලාගේ පිත්තේ පිටත අග්‍රයේ ගැටුණි. සුවහසක් ඉන්දීය ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වූ පරිදිම එය ස්ලිප් ක්‍රීඩකයෙකුගේ දෑතේ සුරැකිව තැන්පත් විය. ඩු ප්ලෙසිස් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ඔහුට සිව්වැනි පන්දුවාරයේ දී පිටියට පිවිසෙන්නට සිදු විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

බුම්රාගේ තුන්වැනි පන්දුවාරය වන තෙක් කඩුල්ලේ රැඳී සිටින්නට සමත් වූ ඩි කොක්ගේ ඉවසීම තවදුරටත් ඔහු සන්තකයේ ඉතිරිව තිබුණේ නැත. බුම්රාගේ පළමු පන්දු 30 තුළ ඔහු ක්‍රියාත්මක කළ දුර්වල යයි සැලකිය හැකි පන්දු කිහිපය අතරින් එකකට පිත්ත යොමු කළ ඩි කොක්ගේ පිතිකරණ දායකත්වය ලකුණු 10කට සීමා වුනේ දකුණු අප්‍රිකාව දැඩි අර්බුධයකට ඇද දමමිනුයි. යුශ්වේන්ද්‍ර චහාල් පන්දුව අතට ගැනීමත් සමග ලකුණු 89කට කඩුලු 5ක් දක්වා අසරණ අඩියකට ඇද වැටුණු දකුණු අප්‍රිකාවට පසුපෙළ පිතිකරුවන්ගේ කණ්ඩායම ගොඩ දැමීමේ උත්සාහය නොවන්නට ඉතා ලැජ්ජා සහගත ඉරණමකට මුහුණ දීමට ද ඉඩ තිබුණි.

මේ අතර බංග්ලාදේශය සමඟ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් බංග්ලාදේශ කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේ ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව දැවැන්ත ලකුණු ඉලක්කයක් ගොඩ නැගූ බව අමතක කර දමමින් විය නොහැකි අතර එය විලියම්සන් තම පන්දු බල ඇණියේ ශක්තිය පිළිබඳ තැබූ විශ්වාසය ලෙස අර්ථ කථනය කිරීම වඩාත් සුදුසුය. බලාපොරොත්තු වූ පරිදිම මැට් හෙන්රි ප්‍රමුඛ පන්දු යවන්නන් ඔහුව කනගාටුවට පත් කළේ නැත.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව නිමාවට පත්විය.

දකුණු අප්‍රිකාව තරම් අසාර්ථක ආරම්භයක් බංග්ලාදේශ කණ්ඩායමෙන් දක්නට නොලැබුනත් ඔවුන්ගේ පළමු තරගයේ මෙන් දිගු සබඳතාවක් ගොඩනගන්නට පිතිකරුවන් දෙදෙනෙක් එකතු වීමට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් සහ පන්දු රකින්නන්ගෙන් ඉඩ නොලැබීම ඔවුන්ගේ කඩා වැටීමට හේතු විය. වේගපන්දු යවන්නන් මෙන්ම මිචෙල් සැන්ට්නර් ද ලකුණු ලබා ගැනීම අපහසු කරමින් ඒ හරහා කඩුලු දවා ගන්නට සමාත් වූ අතර බංග්ලාදේශ පිතිකරුවන් ද සටන අත් හරින්නට අකමැති බව පෙන්වමින් සිය කණ්ඩායම ලකුණු 244ක් වෙත ගෙන යන්නට සමත් වුනේ සටන් කිරීමට හැකි තරම් බිමක් පන්දු යවන්නට ඉතිරි කරමින්.

පන්දුවේ ජවය

රෝස් බෝල් ක්‍රීඩාංගණයේ පිළිතුරු ඉනිම ආරම්භ වන විට ලෝක ප්‍රකට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවට ලකුණු 228ක ඉලක්කය පහසුවෙන් සපුරා ගන්නට හැකි වනු ඇති බව ක්‍රීඩාංගණයේ බහුතරය වූ ඉන්දීය ක්‍රිකට්ලෝලීන්ට මෙන්ම ලොව පුරා විවිධ ස්ථාන වල සිට තරගය දෙස බලා සිටි බොහෝ දෙනෙකු ගේ ද විශ්වාසය විය.

මේ ලියුම්කරු ද ඒ මතයේ එල්බගෙන සිටියේ දකුණු අප්‍රිකා වේගපන්දු බල ඇණියේ පළපුරුදු අණදෙන නිලධාරියා වූ ඩේල් ස්ටෙයින් හට ලෝක කුසලාන සිහිනය හැර දමා සිය රට යන්නට සිදුව තිබීමත්, කගීසෝ රබාඩා වෙත වේගයේ සහය ලබා දීමට සිටි ලුන්ගි න්ගිඩි ආබාධයකට ලක්ව සිටීමත් වැනි හේතු පදනම් කරගෙනයි. කෙසේ වෙතත් මේ තරගයට පෙර සිටම වචන හරඹයකින් ඉන්දීය නායකයා සමඟ ”කොක්කක් දමාගෙන” සිටි රබාඩා ලේසියෙන් තරගය අත හරින්නට කැමති වුනේ නැත.

වේගය, ඉපිලීම සහ දෝලනය හරහා ඉන්දීය ආරම්භක පිතිකරුවන් අන්ද මන්ද කළ රබාඩා සතුව නොතිබුණු එකම දෙය දකුණු අප්‍රිකා කණ්ඩායම සතුව නිරතුරුවම නොමැති වාසනාවයි. ඉන්දීය පිතිකරුවන්ගේ පිති අග්‍රවල වැදී ඉහල නගින උඩ පන්දු කිහිපයක් වෙතම ළඟා වන්නට දකුණු අප්‍රිකා පන්දු රකින්නන් සමත් වූයේ නැත.

කෙසේ වෙතත් තරගය අවසන් පන්දුවාර කිහිපය තෙක්ම ඇදගෙන යන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වීම ඔවුන්ගේ සටන්කාමී ගුණය මනාව ප්‍රදර්ශනය කරන සාධකයක් විය. ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 40කින් ලකුණු 35ක් අවශ්‍යව තිබූ මොහොතක ශතකයක් ලබා සිටි රෝහිත් ශර්මා ලබා දුන් උඩපන්දුව සාමාන්‍යයෙන් සුරක්ෂිතම පන්දු රකින්නෙකු ලෙස නම් දරා සිටින ඩේවිඩ් මිලර් අතින් ගිලිහී යාමත් සමඟ මෙම තරගයේ දීත් වාසනාව සහ ජයග්‍රහණය දකුණු අප්‍රිකාව සතුව රැඳී නොමැති බව හොඳින්ම තහවුරු විය.

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙවැනි පරාජය හෝ ජයග්‍රහණයට පෙර

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය හෙට (7) එංගලන්තයේ බ්‍රිස්ටල්…

මේ අතර නවසීලන්ත කණ්ඩායම ද වේගවත් ආරම්භයක් ලබා ගත් අතර වරෙක ලකුණු 160කට කඩුලු 2ක් පමණක් දැවී ඔවුන් අතිශය ප්‍රබල තත්ත්වයක පසු විය. රොස් ටේලර් ලකුණු 82ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කර තිබිය දී ශතක සබඳතාවක් බිඳ දමමින් තරගයට පිවිසි බංග්ලාදේශ පන්දු යවන්නන් කෙමෙන් කෙමෙන් තරගයේ ග්‍රහණය තමන් වෙත පවරා ගන්නට ද සමත් විය.

කෙසේ වෙතත් අංක 8 පිතිකරු මිචෙල් සැන්ට්නර්ගේ ප්‍රතිරෝධයට පින් සිදු වන්නට බංග්ලාදේශයේ ජයග්‍රාහී ගමන නවසීලන්තය විසින් නවතා දමන විට ඔවුන් සතුව ඉතිරිව තිබුණේ කඩුලු 2ක් සහ පන්දුවාර 3ක් පමණි.

ජයග්‍රහණයේ රහස සටන්කාමීත්වයයි

ඉතින් සටන්කාමී ලෙස නැවත තරගයට පිවිසුණු කණ්ඩායම් ජයග්‍රහණය කළා දැයි ඔබ අසන්නට පුළුවන්. ඔව් ඔවුන් තරගය පරාජය වූ බව සැබෑවකි. නමුත් කණ්ඩායම් 10ක් අතරින් කණ්ඩායම් 4ක් පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන මෙවන් තරගාවලියක දල ලකුණු වේගය ද ප්‍රබල ලෙස කණ්ඩායමක ඉදිරි ගමන තීරණය කරන සාධකයකි.

එබැවින් තරගයක ජයග්‍රාහකයන් දෙදෙනෙක් සිටින්නට නොහැකි අවස්ථාවක පරාජයේ පරතරය හැකි තරම් අඩු කරගෙන දල ලකුණු වේගය පහත වැටෙන්නට ඉඩ නොදී තබා ගැනීම ද එක්තරා ජයග්‍රහණයක් බව සියලු කණ්ඩායම් මතක තබා ගැනීම වටී.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <