නාමයෝජනා 5ක් ඉවතට; ඇමතිගෙන් තහනමක්

543

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිත වන අතර එම නිලවරණයේ නාමයෝජනා 5ක් මේ වන විට ඉවත් වී ඇති බව වාර්තා වේ.

මෙම නිලවරණයේ සභාපතිත්වය සඳහා තරග වැදීමට සිටි ෂෙරීන් කුමාරතුංග මහත්මිය ඊයේ ඉල්ලා අස්වී තිබෙනවා බව වාර්තා වේ. එම ඉල්ලා අස්වීම හේතුවෙන් ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය නිල නොවන වශයෙන් දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය ලෙස නිතරගයෙන් තේරී පත් වී ඇත.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ දී පහර කයි

10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලකුණු 58-32ක් වශයෙන් සිංගප්පූරුව..

නානායක්කාර මහත්මිය 2000 සහ 2001 වසරවල සභාපතිත්වය හෙබ වූ අතර මෙවරත් එසේ සභාපතිනිය ලෙස පත් වෙද්දී ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ නාමයෝජනා ඊයේ (15) ප්‍රතික්ෂේප වීම ද සුවිශේෂී සිදුවීමකි.

දැල්පන්දු ලේකම්, උප ලේකම් යන තනතුරු සඳහා නාමයෝජනා භාර දුන් චම්පා ගුණවර්ධන හා ශිරෝමි කුරුප්පු ද, උප සභාපති ධූරය සඳහා නාමයෝජනා භාර දුන් ලක්ෂ්මි වික්ටෝරියා ද, භාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා භාර දුන් පද්මිණී හොරණගේ සහ උප භාණ්ඩාගාරික තනතුර සඳහා නාමයෝජනා භාර දුන් නිමාල් චාන්දනී ද සිල්වා යන මහත්මීන්ගේ නාමයෝජනා ද මෙසේ ප්‍රතික්ෂේප වි තිබේ.

මෙසේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ ට්‍රික්ෂී නානායක්කාර මහත්මියගේ පාර්ශවයෙන් ඊයේ (15) නිලවරණ කමිටුව වෙත ගොනු කළ විරෝධතා සලකා බැලීමෙන් පසුව බව වාර්තා වේ.

කෙසේ වෙතත් දැල්පන්දු ලේකම් තනතුර සඳහා නිතරගයෙන් ජයන්ති සෝමසේකරම් මහත්මිය තේරී පත්වෙද්දී උප ලේකම් තනතුර සඳහා තනුජා දිසානායක මහත්මිය නිතරගයෙන් තේරී පත්විය. ඉහත පුරප්පාඩු වූ භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු සඳහා ඉදිරියේ දී දෙදෙනෙකු පත් කර ගන්නා බව දැල්පන්දු සම්මේලනය සඳහන් කළේය.

ඊට අමතරව එළඹෙන ජුනි මස 8 වැනිදා සිට 16 වැනිදා දක්වා බොස්නියාවේ දී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සහභාගී නොකිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

දකුණු කොරියාවේ දී නිමාව දුටු 10 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු වූ නිසා මෙම තීරණය ගත් බව සඳහන් වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ගියවර ශූරියන් වූ කණ්ඩායමේ මෙවර පරාජය කිසිසේත් අමතක කළ නොහැකි බවත් මේ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත්ය.

දකුණු කොරියාවේ දී අත් වූ පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සෘජුව වගකිව යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න  මුල් පිටුවට <<